ඓතිහාසික මිහින්තලා පුදබිමේ අද (31) පැවති ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නා හිමියෝ විශේෂ අනුශාසනාවක් සිදු කළහ. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ රටේ පවතින බරපතල සංස්කෘතික සෝදාපාළුව සහ සමාජ අසාධාරණය හමුවේ මහා සංඝරත්නය නිහඬව නොසිටිය යුතු බවයි. තර්ජන ගර්ජනවලට බිය නොවී රට දැය සමය වෙනුවෙන් නිර්භයව හඬ නැගීම භික්ෂූන් වහන්සේගේ වගකීමක් බව ද උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.
ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය විවේචනය කළ අනුනායක හිමියෝ, ඇතැම් අයගේ දෙපා මෙරට තිබුණද ඔවුන්ගේ “ඔළුව ඇත්තේ යුරෝපයේ” බව පවසා සිටියහ. මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් රචිත “සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය” කෘතිය දොරට වැඩීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.














