යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය එළඹෙන ජූනි මාසය වන විට අවසන් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. මේ සඳහා සාකච්ඡා කිරීමට දෙපාර්ශවයේම නියෝජිත කණ්ඩායම්වලට ලබන සතියේදී ඇමරිකාවේ මියාමි නුවරදී හමුවන ලෙස ඇරයුම් කර ඇති බවත්, යුක්රේනය ඒ සඳහා සහභාගී වන බව තහවුරු කර ඇති බවත් ඔහු සඳහන් කරයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයට පත්වූ දින සිට මෙම ගැටුම අවසන් කිරීමට දැඩි උත්සාහයක නිරත වන අතර, ජූනි මාසය වන විට එකඟතාවයකට පැමිණීමට ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ එරට අභ්‍යන්තර දේශපාලන කරුණු හේතුවෙන් බවද සෙලෙන්ස්කි පෙන්වා දී ඇත.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාම සාකච්ඡා සඳහා සූදානම් වන අතරතුර රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඩ්‍රෝන යානා 400කට අධික සංඛ්‍යාවක් සහ මිසයිල 40ක් යොදා ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ බොහෝ ප්‍රදේශ දැඩි විදුලි බිඳවැටීම්වලට ලක්ව ඇති අතර, පවතින දැඩි ශීත කාලගුණය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටිති. අබුඩාබි නුවර පැවැති දෙවන වටයේ සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වී ඇති පසුබිමක, රුසියාව විසින් යුක්රේනයේ ප්‍රධාන බලාගාර කිහිපයක් ඉලක්ක කර මෙම දසවන දැවැන්ත ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.














