රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පැවැත්වෙන 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම සංචාරය අතරතුර රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හමුවී දෙරටට වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ. මීට පෙර රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල් සැපයීමට රුසියාව සිය කැමැත්ත පළ කර තිබුණි.
මේ අතර රුසියාවෙන් තෙල් ආනයනය කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පන්දම් විරෝධතාවක් ද පැවැත්විණි. සමාජවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන කණ්ඩායම් චෝදනා කරන්නේ රුසියාවෙන් තෙල් ලබා ගැනීම වැළැක්වීම සඳහා කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. රුසියාවෙන් සෘජුව තෙල් ආනයනය කිරීම මඟින් පවතින බලශක්ති අර්බුදයට සහනයක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ඇතුළු පිරිස මෙහිදී අවධාරණය කළහ.














