2026 වසරේ ලාංකිකයන් 350,000කට විදේශ රැකියා ලබාදීමේ ඉලක්කයට රුසියාවෙන් සහයක්
වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8ක ප්‍රේෂණ ඉලක්කයක්
යුක්රේන යුද්ධය සහ ජනගහන විපර්යාස හමුවේ රුසියාව මුහුණ දී සිටින දැවැන්ත ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලින් සේවකයන් බඳවා ගැනීමට මොස්කව් පාලනය සැරසෙයි. බ්ලූම්බර්ග් (Bloomberg) වාර්තාවකට අනුව, මේ දශකය අවසන් වන විට රුසියාවට අතිරේක සේවකයන් මිලියන 11ක් (ලක්ෂ 110ක්) අවශ්‍යව ඇති අතර, ඒ සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වැනි රටවල් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව තිබේ.
2026 වසරේදී ශ්‍රී ලාංකිකයන් 350,000කට විදේශ රැකියා අවස්ථා සලසා දීමේ රජයේ ඉලක්කයට මෙම නව ප්‍රවණතාවය මනා පිටුවහලක් වනු ඇත. මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස් නව රැකියා වෙළඳපොළවල් සෙවීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය හමුවේ, ඉදිකිරීම්, ප්‍රවාහන සහ නාගරික සේවා වැනි අංශ සඳහා රුසියානු සේවා යෝජකයින් ලාංකික ශ්‍රමිකයන් බලාපොරොත්තු වේ. 2025 වසරේදී මෙරට විදේශ රැකියා ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රුසියානු රැකියා වෙළඳපොළ විවෘත වීම හරහා එය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂිතය.
කෙසේ වෙතත්, රුසියාවේ පවතින දැඩි ශීත දේශගුණය සහ රුසියානු ජාතිකයින්ට සාපේක්ෂව විදේශිකයන්ට ලැබෙන වැටුප්වල පවතින විෂමතාවයන් පිළිබඳව ද බ්ලූම්බර්ග් වාර්තාව අනතුරු අඟවයි. එමෙන්ම යුද ගැටුම් පවතින කලාපයකට සිය ශ්‍රමිකයන් යොමු කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සහතික කිරීම රජය හමුවේ පවතින ප්‍රධාන අභියෝගයකි.














