නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබදව ලැබුණු වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක පැවසිය .
අද ( 23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර සිටියේය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ මානව සම්පත් හා ගිණුම් ඒකකයේ සේවය කරනු ලබන සේවකයින් 9 දෙනෙකු හදිසියේ උණ හා උගුරු අමාරුව යන රෝග ලක්ෂණ මතු වි පුත්තලම මුලික රෝහලේ විශේෂ කොරෝනා ඒකකයට ඊයේ ඇතුලත් කර තිබුණි.
අනතුරුව එම පිරිස වෙතින් PCR පරීක්ෂණය සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි.
එම පරික්ෂණ වාර්තා අද උදෑසන පුත්තලම මුලික රෝහලට ලැබි තිබුනී.
කෙසේ වෙතත් මෙම තත්වයත් සමග ලක් විජය බලාගාරයට 22 දින සේවයට පැමින සිටි 600 කට ආසන්න සේවක පිරිස ආපසු නිවෙස් වෙත යාම සම්පුර්ණයෙන් නවතා තිබු අතර ඔවුන් ආරක්ෂීත ලෙස නේවසිකාගාර තුළ රැදවිමට ලක් විජය බලාගාර පාලනාධිකාරිය කටයුතු කර ඇත.
නමුත් කොවිඩ් පරික්ෂණ වලට යොමු කල කිසිවකු රෝගින් නොවන බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වි තිබෙන බැවින් සේවක පිරිස් නියමිත ලෙස නිවෙස් වලට යැවීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත.