මේ වසර අවසන් වන තෙක් ගෑස් තිබෙනවා
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (26දා) සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇත. ගෑස්වල හිඟයක් මේ වසර අවසන් වන තෙක් ඇති වන්නේ නැතැයි ද ඒ මහතා කීය.
2022 ජුනි මාසයේදී තමා ලිට්රෝ ගෑස් සමාගම භාරගන්නා විට රුපියල් බිලියන 11ක බැංකු ණයක් සහ බිලියන 14ක පාඩුවක් සමාගමට තිබුණු බව ඒ මහතා කීය.
ලිට්රෝ ගෑස් සමාගම නිසි කළමනාකරණයක් තුළින් පවත්වාගෙන යෑම හේතුවෙන් බැංකු ණය සහ පාඩුව පියවා මේ වනවිට රුපියල් බිලියන 03ක ලාභයක් ලබා ඇතැයි ද හෙතෙම කීය.
තමා පාලනය කළ කාලය තුළ අවස්ථා ගණනාවකදී ගෑස් මිල අඩුකළ බවත්, ඒ සමග රටේ ගෑස් හිඟයක් ඇති නොවීමට වගබලා ගත් බවත් පැවසූ මුදිත පීරිස් මහතා තමා ඇති කරගෙන තියෙන ගිවිසුම අනුව මේ වසර අවසන් වනතෙක් ගෑස් ඇණවුම් කර තිබෙන බවද කියා සිටියේය.