14 වන ලියෝ පාප් වහන්සේ අප්‍රිකානු මහද්වීපයේ රටවල් හතරක සංචාරය කිරීම සඳහා අද (13) රෝමයෙන් පිටත්ව යති. දින දහයක් පුරා පැවැත්වෙන මෙම අභිලාෂකාමී සංචාරයේදී එතුමන් ඇල්ජීරියාව කැමරූන් ඇන්ගෝලාව සහ ඉක්වටෝරියල් ගිනියාව යන රටවල සංචාරය කිරීමට නියමිතය. ලෝක කතෝලික ජනගහනයෙන් පහෙන් එකකට වඩා ජීවත් වන අප්‍රිකානු මහද්වීපය කෙරෙහි ලෝක අවධානය යොමු කරවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව වතිකානය පවසයි.
වයස අවුරුදු 70ක් වන පාප් වහන්සේ මෙම සංචාරය අතරතුර නගර 11කට ගමන් කරන අතර ඒ සඳහා ගුවන් ගමන් 18ක් සැලසුම් කර තිබේ. මෙය දශක කිහිපයකින් පාප් වහන්සේ නමක විසින් සිදු කරනු ලබන වඩාත්ම සංකීර්ණ විදේශ සංචාරයකි. ඇල්ජීරියාවේ සිය සංචාරය ආරම්භ කරන එතුමන් එහිදී අල්ජියර්ස්හි පිහිටි මහා පල්ලිය (Great Mosque of Algiers) වෙත ද පැමිණීමට නියමිතය. කතෝලික පාප් වහන්සේ නමක ඇල්ජීරියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
මෙම සංචාරය අතරතුර පාප් වහන්සේ විවිධ මාතෘකා ඔස්සේ දේශන 25ක් පැවැත්වීමට නියමිත අතර ස්වභාවික සම්පත් සූරාකෑම කතෝලික මුස්ලිම් සංවාදය සහ දේශපාලන දූෂණයේ පවතින අනතුරු පිළිබඳව එහිදී අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එතුමන් භාෂා කිහිපයකින් දක්ෂ ලෙස කතා කළ හැකි අයෙකු වන බැවින් මෙම සංචාරය අතරතුර ඉතාලි ඉංග්‍රීසි ප්‍රංශ පෘතුගීසි සහ ස්පාඤ්ඤ භාෂාවලින් සිය අදහස් පළ කරනු ඇත.














