ලොස් ඇන්ජලීස් ලේකර්ස් (Los Angeles Lakers) කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ලූකා ඩොන්චිච්ට කලවයේ මස්පිඬු ආබාධයක් (Hamstring Injury) හේතුවෙන් මෙවර NBA තරඟාවලියේ මූලික වටයේ ඉතිරි තරඟ සියල්ල අහිමි වී තිබෙනවා. 27 හැවිරිදි මෙම ස්ලෝවේනියානු ක්‍රීඩකයා පසුගිය මාර්තු මාසයේදී දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතා නිසා මෙවර තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට (MVP) හිමි සම්මානය සඳහාද දැඩි තරඟකාරීත්වයක් නිර්මාණය කර තිබුණා.
ඔක්ලහෝමා සිටි තන්ඩර් (Oklahoma City Thunder) කණ්ඩායම සමඟ පැවති තරඟයේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන් අතර, ලේකර්ස් කණ්ඩායමට මූලික වටයේ තවත් තරඟ 5 ක් ඉතිරිව තිබෙනවා. අප්‍රේල් 18 වනදා ආරම්භ වන ප්ලේ-ඕෆ් (Play-offs) වටයට පෙර ඔහු යළි කවදා ක්‍රීඩා පිටියට පිවිසෙන්නේද යන්න පිළිබඳව ලේකර්ස් කණ්ඩායම තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.
ඔහු මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වන අතර තරඟයකට ලකුණු 33.5 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් මුළු ලකුණු 2143 ක් ලබා සිටිනවා. කෙසේ වෙතත්, NBA සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට ක්‍රීඩකයෙකු අවම වශයෙන් තරඟ 65 කට ක්‍රීඩා කළ යුතු අතර ඩොන්චිච් ක්‍රීඩා කර ඇත්තේ තරඟ 64 කට පමණයි. ඒ අනුව ඔහුගේ නියෝජිතයා පවසා සිටියේ මේ සඳහා විශේෂ අවසරයක් (Extraordinary Circumstances Challenge) ලබා ගැනීමට කටයුතු කරන බවයි.














