සාමය, සහජීවනය සහ එකිනෙකාට ගරු කිරීමේ පණිවිඩය රැගෙන, ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහනව නමක් සහ ඔවුන්ගේ සුරතල් බලු මිතුරා වන “ආලෝක” ගේ සාම පා ගමන කිලෝමීටර් 3,700 ක දුරක් ගෙවා මාස හතරකට පසු ගමනාන්තය වන වොෂින්ටන් අගනුවරට ළඟා වී තිබේ. වියට්නාම ජාතික පඤ්ඤාකර හිමිගේ නායකත්වයෙන් යුත් මෙම පිරිස පසුගිය 2025 ඔක්තෝබර් 26 වැනිදා ගමන ආරම්භ කළහ.
මෙම පා ගමනට ලොව පුරා අවධානය යොමු වූයේ “ආලෝක” නම් සුරතල් සුනඛයා නිසාය. ඉන්දියාවේ වීදි සුනඛයෙකු වූ ආලෝක, මීට පෙර පඤ්ඤාකර හිමි ඉන්දියාවේ සිට නේපාලය දක්වා ගිය සාම පා ගමනකට ද එක් වූ අයෙකි. පා ගමන අතරතුරදී අනතුරකට පත් වූ භික්ෂූන් වහන්සේ නමකට පාදයක් අහිමි වූ නමුත්, උන්වහන්සේ තමන්ට අනතුරු කළ රියදුරාට සමාව දීම කැපී පෙනෙන සිදුවීමක් විය. මෙම සිදුවීමෙන් පසු භික්ෂූන් වහන්සේලාට පොලිස් ආරක්ෂාවද හිමිවිය.
ගමන අවසානයේදී භික්ෂූන් වහන්සේලා ඇමෙරිකන් රජයෙන් ඉල්ලීමක් කළේ ත්‍රිමංගල්‍යය සිහිපත් කරන වෙසක් දිනය ඇමරිකාවේ ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසයි.














