බිස්මාර්ක් කියලා කියන්නේ දෙවැනි ලෝක යුද සමයේදී ලෝකයම හෙල්ලූ නමක් .
මේක නිර්භීත සතුරෙක් විදිහටත් හඳුන්වනවා.
කවුද මේ බිස්මාර්ක් ?
දෙවැනි ලෝක යුද සමයේදී බිස්මාර්ක් මොනවද කළේ.
අද අපි කතා කරන්නේ ඒ ගැන.
බිස්මාර්ක් කියන්නේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඇමෙරිකානු, නාවික හමුදා මවිතයට හා භීතියට පත්කරපු කෙනෙක්.
ඔයාලා බලනවා ඇති මේ වගේ ප්‍රභල රටවල් භීතියට පත් කරන්න පුළුවන් වුණේ කාටද කියලා.
මේක ඇති බලවත් යුද නැවක්.
යුද නැවක් කොහොමද මේ වගේ රටවල් ටිකක් බය කලේ ?
බිස්මාර්ක් 1940 යුගයේදී ලොව බලවත් යුරෝපීය රටවල් අතරින් නිපදවුණු ප්‍රභල ගනයේ නැවක්.
මෙයට අභියෝග කළහැකි නැවක් ලොව වෙනත් කිසිදු රටක් සතුව එවකට තිබී නැහ.
ජර්මානු නාවුක තාක්ෂණයේ සෑම අංගයකම එක් කර සකස් කළ නැවක් ලෙස මෙය හැඳින්වෙනවා.
මෙම නැව නිපදවීම ආරම්භ කෙරුනේ 1936 ජූලි මාසයේදී.
ඒ ජර්මනියේ හැම්බර්ග් වරායෙහිදී.
මෙය ටොන් 58,000ක බරින් සහ අඩි 825ක දිගින් යුක්ත වුණා.
බිස්මාක් නෞකාව එවකට විශාලත්වයෙන් වැඩිම යුධ නෞකාවයි.
එහි ඉදිකිරීම් අවසන් වූ පසු අධිකාරියට පත්කර සේවයේ යොදවන ලද්දේ 1940 අගෝස්තු මාසයේදී.
මෙය නොට්ස් 30ක වේගයෙන් ගමන් කළ හැකි එකල පැවති වේගවත්ම යුධ නෞකාවක්.
අඟල් 15 විශ්කම්භයෙන් යුත් සුවිසල් කාලතුවක්කු අටකින් එය සමන්විත වුණා.
නෞකාව තවත් කුඩා අවි බොහෝමයකින් සමන්විතව තිබු බවටද තොරතුරු වාර්තා වනවා.
එය 2300ක පමණ කාර්‍යමණ්ඩලයකින් සමන්විතයි.
කපිතාන් අර්න්ස්ට් ලින්ඩ්මාන් ඔවුන්ට නායකත්වය දුන්නේය.
ඔහු මෙම නෞකාවේ පළමු සහ එකම කපිතන්වරයයි.
එහි බඳ අඟල් 7ක් පමණ ඝනකම් වූ දැඩි වානේ වලින් නිපදවා තිබෙනවා.
ඒත් සමග එවැනිම තවත් නැවක් නිෂ්පාදනය කෙරුණා.
එය හැඳින්වුණේ ‘ටර්පිට්ස්’ නමින්.
1941 දී අධිකාරියට පත්කර සේවයේ යෙදවූ මෙම නැවට අයත්වූ ප්‍රධාන කාර්යභාරය වුයේ, උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ සෝවියට් රුසියානු නාවික බලයට එරෙහිව ක්‍රියා කිරීමයි.
නැවෙන් එල්ලවූ තර්ජනය නිසා මිත්‍ර හමුදා සබ්මැරීන් ප්‍රහාර සහ ගුවනින් බෝම්බ හෙලීමෙන් 1944 වසරේදී මෙම නැව විනාශ කර තිබෙනවා.
බිස්මාක් වෙත පැවරුණ මුල්ම රාජකාරිය වූයේ අත්ලාන්තික් සාගරයේ විවිධාකාරයේ මෙහෙයුම් වල නියැලෙන මිත්‍ර පාක්ෂික නෞකා වලට ප්‍රහාර එල්ල කිරීමයි.
ඒ අනුව 1941 මැයි මස 19 වන දින සිය ප්‍රථම රාජකාරිය සඳහා ජර්මනියෙන් පිටත් වුණා.
බිස්මාක් සමග දියඹට බට අනෙක් නෞකාව වූයේ ප්‍රින්ස් ඔයිගන්.
මෙම නෞකා ද්විත්වයෙහි මෙහෙයුම රයිනොයිබුං ලෙස නම් කෙරුණා.
මෙය ඉතා රහසිගත මෙහෙයුමක් ලෙස තබාගන්නට ජර්මානුවන්ට අවශ්‍ය වුණා.
මෙහෙයුමට අණ දුන්නේ අද්මිරාල් ගුන්තර් ලූට්ජන්.
කෙසේ වුවත් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ස්පිට්ෆයර් නම් ඔත්තු බලන ගුවන් යානාවක් බිස්මාක් සහ ප්‍රින්ස් ඔයිගන් නෞකා ද්විත්වය ජර්මානු පාලනයට යටත්ව තිබූ නෝර්වේ රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදේදී නිරීක්ෂණය කර තිබෙනවා.
මේ හේතුවෙන් රයිනොයිබුං මෙහෙයුම මිත්‍ර පාක්ෂික හමුදාවන්ට රහසක් වුනේ නැහැ.
මෙහෙයුම සඳහා ජර්මනියෙන් පිටත්වන විට බිස්මාක් නෞකාවේ ගුවන්යානා නාශක කාලතුවක්කු පද්ධතිය නිසියාකාරව නිමකර තිබුනේ නැහැ.
ඒවගේම තමයි ඔවුන් නෝර්වේ වරායෙන් නැවත ගමන් ආරම්භ කරන විට නෞකාවට ඉන්ධන පුරවා ගැනීම සිදු කරලා තිබුනෙත් නෑ.
මෙය ඔවුන්ට සිදු වූ බරපතල අතපසුවීමක්.
මුලින්ම උතුරට ගමන්කොට රාත්‍රිය උදාවූ පසු අඳුර වාසියක් කරගනිමින් අත්ලාන්තික් සාගරයට පිවිසීම ඔවුන්ගේ අරමුණ වුනා.
නමුත් ඍතු වලට අනුව මැයි මාසයේ රාත්‍රිය කෙටි බැවින් අඳුර වාසියක් කර ගැනීම තරමක් අසීරු කටයුත්තක්.
මේ නිසා එය අමතර දුරක්, කාලයක් සහ ඉන්ධන නාස්තියක් පමණක් බවට පත්ව තිබෙනවා.
ජර්මානු නෞකා රේඩාර් තාක්ෂණය ප්‍රධාන වශයෙන්ම භාවිත කළේ කාලතුවක්කු සඳහා දුර නිර්ණය කරගැනීමටයි.
නමුත් බ්‍රිතාන්‍යයින් එය දුර ඇති වස්තූන් හඳුනාගැනීමටත් භාවිත කළා.
එත් එක්කම රාජකීය නාවික හමුදාවට අයත් කෘසර් වර්ගයේ නෞකා දෙකක් අත්ලාන්තික් සාගරයට පිවිසිය හැකි එක් මාර්ගයක් වන ඩෙන්මාක් සමුද්‍ර සන්ධියෙහි මුරකාවල් ලාගෙන සිටියා.
මැයි 23 වන දා ඔවුන් බිස්මාක් සහ ප්‍රින්ස් ඔයිගන් වෙත තම අවි වලින් පහර දුන්නා.
මේ වෙලාවේ එකට ප්‍රතිචාර දක්වපු බිස්මාක් නෞකාවට නොහිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිද්ධ වුනා.
ඒ තමයි නෞකාවේ ප්‍රභල කාලතුවක්කු වල කම්පනය දරාගත නොහැකිව එහි ඉදිරිපස නිරීක්ෂණ රේඩාරයට හානි සිදුවීම.
මේ හානිය නෞකාවේ රේඩාර් පද්ධතිය තියුණු ලෙස අඩපණ කළා.
මේ නිසා ප්‍රින්ස් ඔයිගන් නෞකාවට මෙහෙයුමේ පෙරමුණ ගන්න සිදු වුනා.
ඔවුන්ගේ සියළු උපාංග නිසිලෙස කියාත්මක වූ නිසා ප්‍රින්ස් ඔයිගන් නෞකාව රාජකීය නාවුක හමුදාවට නිරීක්ෂණය වුණේ නැහැ.
මේ අතරතුර තවත් නෞකා දෙකක් බිස්මාක් කොටු කරගන්නට සටනට යොදවන්නට රාජකීය නාවික හමුදාව පියවර ගත්තා.
ඒ අළුතින්ම සේවයට එක් වූ ප්‍රින්ස් ඔෆ් වේල්ස් නෞකාව සහ රාජකීය නාවික හමුදාවේ හුඩ් කියන නෞකා ද්විත්වයයි.
මුලින් ලද තොරතුරු අනුව අත්ලාන්තික් සාගරයේදී ජර්මානු නැව් ද්විත්වය මුණගැහෙන ස්ථානය නිවැරදිවම ගණනය කරන්නට සමත් වූ බ්‍රිතාන්‍ය නාවුකයින් සටනට අවතීර්ණ වී තිබෙනවා.
හුඩ් නෞකාව ප්‍රින්ස් ඔයිගන් නෞකාව බිස්මාක් ලෙස වරදවා හඳුනාගෙන ඊට පහර දුන්නා.
ඉන් උපරිම ප්‍රයෝජන ගත් බිස්මාක් තම ප්‍රහාරය හුඩ් නෞකාව වෙත එල්ල කළා.
රේඩාර් පද්ධතිය අකර්මන්‍යව වුවත් බිස්මාක් නෞකාවේ කාලතුවක්කු වල ඉලක්ක ලබාගැනීම බොහෝ දුරට සාර්ථක වී තිබෙනවා.
බිස්මාක් නෞකාවේ කාලතුවක්කු වල පරාසයෙන් ඈතට යාම කළ නොහැක්කක් වූ බැවින් හුඩ් නෞකාව ඒ අසලටම ගමන් කිරීමට තීරණය කළා.
ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ බිස්මාක් නෞකාව හුඩ් නෞකාවට හොඳින් පහරදිය හැකි ලෙස ස්ථානගත වුනා.
විනාඩි අටක පමණ වූ ඉතා කෙටි සටනකින් පසුව දරුණු ප්‍රහාරයකට ලක් වූ හුඩ් නෞකාවට නාවිකයින් 1400කට නොඅඩු පිරිසක් සමග මුහුදුබත් වීමට සිදු වුනා.
එය ජර්මානුන් අත්කරගත් විශාල ජයග්‍රහණයක්.
මේත් සමඟ කෙසේ හෝ බිස්මාක් විනාශ කළ යුතු බවට අධිෂ්ඨානයට බ්‍රිතාන්‍යයින් තීරණය කළා.
මේ අතර ප්‍රින්ස් ඔෆ් වේල්ස් නෞකාවේ ප්‍රධාන අවියෙන් එල්ල උණ්ඩයක් වැදීමෙන් බිස්මාක් නෞකාවේ බඳ සිදුරු වුනා.
එමඟින් විශාල ඉන්ධන කාන්දුවීමක් ආරම්භ වී තිබෙනවා.
එය නෞකාවේ වේගය අඩාල කරවීමටද හේතුවක් ව ඇති බවයි පැවසෙන්නේ.
රාජකීය නාවික හමුදා නෞකා වලට පහරදී පසුබෑමට ලක් කළ බිස්මාක් ඒ අවසරයෙන් ප්‍රින්ස් ඔයිගන් හට සිය ගමන් මාර්ගය වෙනස්කොට යාමට ඉඩකඩ විවර කර දී තිබෙනවා.
ඒ අතර බිස්මාක් නෞකාව අළුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සිදු කෙරුනා.
නොර්වේ කරා නැවත යාම වඩාත් ළඟ සහ ඉක්මන් ගමනක් වුණා.
ප්‍රංශය කරා ගමන් ගැනීම වඩාත් කාලය ගන්නා, දුරින් වැඩි ගමනක් වුවත් බිස්මාක් නෞකාව ප්‍රංශයට පදවන්නට අවසානයේ තීරණය කෙරුණා.
මේ අතරතුර රාජකීය නාවික හමුදා නෞකාවක් ජර්මානු සබ්මැරීන් නොමඟ යැවීම සඳහා සිග්සැග් ආකාරයේ ගමන්මාර්ගයක් අනුගමනය කළා.
මෙය අවස්ථාවක් කරගත් බිස්මාක් නෞකාව තම දකුණු පසට හරවා ගමන් කර බ්‍රිතාන්‍ය නෞකාවේ රේඩාරය මඟහරින්නට සමත්ව තිබෙනවා.
අද්මිරාල් ලූට්ජන් තමන් මුහුණ දී ඇති තත්වය පිළිඹඳව දැනුවත් කිරීමට රේඩියෝ පණිවුඩයක් ජර්මනියට යැවුවේ මේ බව නොදැනයි.
මේ වකවානුව වන විට කේතනය කරන ලද ජර්මානු රහස් පණිවුඩ විකේතනය කිරීමේ හැකියාව බ්‍රිතාන්‍යය සතු වුනා.
රේඩියෝ පණිවුඩය විකේතනය කර බිස්මාක් නෞකාව සිටින ප්‍රදේශය දළ වශයෙන් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
නමුත් මහ සයුරේ නෞකාවක් තිබෙන තැන නිවැරදිවම සොයාගත නොහැකි වූ නිසා බ්‍රිතාන්‍යයින්කැටලිනා ෆ්ලයිං බෝට් නම් ඔත්තු බලන ගුවන් යානා සැකකටයුතු ප්‍රදේශය සෝදිසි කිරීමට පිටත් කළා.
වළාකුළු අතරින් තිබූ හිඩැසක් තුළින් බිස්මාක් නෞකාවේ ඉන්ධන කාන්දුවීම නිසා ඇති වූ තෙල් පැල්ලම නිරීක්ෂණය කිරීමට එම ගුවන් නියමුවන් සමත්ව තිබෙනවා.
ඒ ඔස්සේ ගමන්කොට බිස්මාක් නෞකාව සිටින තැන සහ ගමන් ගන්නා මාර්ගය සොයා ගැනීමටද හැකි ව ඇති බවයි වාර්තා වන්නේ.
මේත් සමගම රාජකීය නාවික හමුදාව තමන් සතු සියළුම ශක්තිය යොදවා බිස්මාක් නවතාලන්නට උත්සහ කළා.
ඒ වන බිස්මාක් ගමන් කරමින් සිටියේ ජර්මානු පාලනය යටතේ පැවති ප්‍රංශයේ සිට ගුවන්ගත වූ ලුෆ්ත්වාෆේ නම් ජර්මානු ගුවන් හමුදාවේ බල ප්‍රදේශයට ආසන්න වෙමින්.
බිස්මාක් ජර්මානු ගුවන් හමුදාව බලය පතුරවන කලාපයට ඇතුළු වූවා නම් නිසැකවම ඔවුන් සුරක්ෂිත කිරීමට ජර්මානු ගුවන් හමුදාවට හැකියාව තිබුනා.
බ්‍රිතාන්‍යයින්ට බිස්මාක් නවතාලීමට ඉතිරිව තිබූ එකම අවස්ථාව ගුවන් ප්‍රහාරයක් පමනයි.
ඒ අවස්ථාව වන විට බිස්මාක් විනාශ කිරීමේ මෙහෙයුම සඳහා එක්ව සිටි ආක් රෝයල් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මත තිබූ ගුවන් යානා මගින් බිස්මාක් නෞකාවට ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් තීරණය කළා.
ටෝපිඩෝ වලින් සන්නද්ධ වූ ස්වෝඩ්ෆිෂ් ගුවන් යානා ආක් රෝයල් නෞකාවෙන් ගුවන්ගත වුනා.
එම ගුවන් යානා වේගය අතින් අඩු වුවත්, මනා සථායීතාවයකින් යුක්ත තරමක් පැරණි යානා වර්ගයක්.
එම ගුවන් යානා විශාල ප්‍රමාණයක් එකවර බිස්මාක් වෙත පහර දීමට පටන් ගත්තා.
ඒ මොහොතේ ආධුනික බිස්මාක් කාර්‍යමණ්ඩලයට නිසියාකාරව නිමනොකළ ගුවන් යානා නාශක අවි හරිහැටි හසුරුවාගත නොහැකි වුනා.
ස්වෝඩ්ෆිෂ් ගුවන් යානා පියාසර කළේ මුහුදු ජල මට්ටමට ඉතා ආසන්නයෙන්.
එය ජර්මානු නාවිකයින් දැඩි අපහසුතාවයකට පත්කළා.
බ්‍රිතාන්‍ය ගුවන් යානා එල්ල කළ ටෝපිඩෝවලින් දෙකක් බිස්මාක් නෞකාවේ රඩර් යුගලටම හානි කිරීමට සමත්ව තිබෙනවා.
එයින් එක රඩරයක් යථා තත්වයට පත්කර ගන්නට බිස්මාක් නෞකාවේ සිටි යාන්ත්‍රිකයින් සමත් වුනා.
නමුත් අනෙක් රඩරය යථා තත්වයට පත්කර ගන්නට ඔවුන්ට හැකි වුනේ නැහැ.
ඒ හේතුවෙන් නෞකාව ප්‍රංශය දෙසට ගමන් කරනු වෙනුවට එක තැන කැරකෙන්නට වුනා.
එදින රාත්‍රිය උදා වීමත් සමඟ එම සටන තාවකාලිකව නවත්වා තිබෙනවා.
පසුදින උදේ රොඩ්නි නෞකාවෙන් බිස්මාක් වෙත පහර දීම යලි ආරම්භ කළා.
බිස්මාක් නෞකාවද ඊට ප්‍රතිචාර දැක්වුවා.
වේගය සහ හැසිරවීම අතින් දුර්වලව සිටි බිස්මාක් නෞකාව රාජකීය නාවික හමුදා නෞකා වල පහසු ගොදුරක් බවට පත්විය.
සටන ආරම්භව විනාඩි 12ක් පමණ ගත වන තැන බිස්මාක් නෞකාව මතමට සතුරු උණ්ඩ පතිත වන්නට වුනා.
ඒ ප්‍රහාර බිස්මාක් නෞකාවේ ඉදිරිපස කාලතුවක්කු අකර්මන්‍ය කිරීමට සමත් වුණා.
සටනට විනාඩි 25ක් පමණ ගතවන තැන නෞකාවේ පාලන කුටියටද සතුරු කාලතුවක්කු උණ්ඩ පතිත වී තිබෙනවා.
එම ප්‍රහාරයන්ගෙන් අද්මිරාල් ලූට්ජන් සහ කපිතාන් ලින්ඩ්මාන් ද මරණයට පත්වන්නට ඇතිබව විශ්වාස කෙරෙනවා.
රාජකීය නාවික හමුදාවේ එකම අභිප්‍රාය වූයේ මහ සයුරේ බලවතා ගිල්වා දැමීම පමණයි.
නාවික සැතපුම් දෙකක් පමණ බිස්මාක් නෞකාව සමීපයට පැමිණි HMS රොඩ්නි නෞකාව අවසන් ප්‍රහාරය එල්ල කළහ.
එම ප්‍රහාරයත් සමඟ වම්පසට ඇලවුණ බිස්මාක් නෞකාව යටිකුරුව මහ සයුරේ ගිලී ගියා.
කෙසේ වුනත් නාවික සම්ප්‍රදායන්ට ගරු කරමින් ජීවිතාරක්ෂක කබා ආධාරයෙන් ජලය මතුපිට පාවෙමින් සිටි ජර්මානු නාවිකයින් මුදාගැනීමට බ්‍රිතාන්‍ය නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.
නමුත් එලෙස මුදාගැනීමට හැකියාව ලැබී ඇත්තේ 110ක් තරම් වූ සුළු පිරිසක් පමණයි.
එක් වරම ජර්මානු සබ්මැරීනයක් එන බව සැලවීමෙන් HMS ඩෝසිචර් නෞකාව අනතුරට පත් ජර්මානු නාවිකයින් ගලවා ගැනීම පසෙක දමා එම ස්ථානයෙන් ඉවත් වී ඇති බව මේ සම්බන්ධයෙන්වන වාර්තාවල සඳහන්.
2001 වසරේ දී පමණ බිස්මාක් නෞකාව ගවේෂණය කළ පිරිස් එක්රැස් කළ තොරතුරු විශ්ලේෂණය කළ නාවුක විශේෂඥයින් කියා සිටියේ නෞකාව මත සවිකර තිබූ අවි සහ අනෙකුත් උපකරණ වලට විශාල ලෙස හානි සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් නෞකාවෙහි බඳ කොටස තවමත් නිරුපද්‍රිතව පවතින බවට ගවේෂකයන් තොරතුරු වාර්තා කර තිබෙනවා.
එබැවින් ඔවුන් පෙන්වා දෙන්නේ බිස්මාක් නෞකාව රාජකීය නාවික හමුදාව ගිල්වා දැමුවා නොව, බිස්මාක් කාර්‍ය මණ්ඩලයම පුපුරුවා හරින්නට ඇති බවයි.
ජර්මානුන් තම තාක්ෂණය සතුරු හමුදාවන් අතට පත්වීම වැළැක්වීම සඳහා මෙලෙස බිස්මාර්ක් ගිල්වා දමන්නට ඇති බවට මත පල වනවා.
ඉන් පසුව ජර්මානු නාවික විධානය ඔවුන්ගේ සබ්මැරීන වල සහයට යුධ නෞකා යෙදවීමේ උපක්‍රමය අත්හැර දැමීමට පියවර ගෙන තිබෙනවා.
බිස්මාක් නෞකාවේ දින නවයක මංගල චාරිකාවේ ඛේදනීය නිමාව ඇඩොල්ෆ් හිට්ලර් සාගරයේ බලය තමන් සතු කරගන්නට දැරූ උත්සාහය බිඳවැටීමේ හැරවුම් ලක්ෂය ලෙසට සැලකෙනවා.
ප්‍රභල රටවල් රැසක් භීතියට පත් කරපු මේ බිස්මාර්ක් නෞකාව මුහුදු බත් වුනේ 2200කට අධික පිරිසකගේ ජිවිත ඉමක් කොනක් නොපෙනෙන මහා සයුරේ ගිල්වමින්.
නිර්භීත සතුරෙක් විදිහට අවසන් ගමන් ගිය බිස්මාර්ක් නෞකාවේ කෙටි ජීවිත කාලය ගෙවිලා තියෙන්නේ මෙන්න මේ විදිහට.
මේ වගේ තවත් කතාවක් එක්ක අපි අයෙත් දවසක හමුවෙමු.














