වත්තල මීගමුව පාරේදී සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් හත් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා නීති විරෝධී මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වී තිබේ. නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව පසුගිය 02 වැනිදා පස්වරුවේ සිදුකළ මෙම මෙහෙයුමේදී, ලොරි රථය තුළ සඟවා තිබූ මිලිග්‍රෑම් 150 මත්පෙති 145,500ක් සහ මිලිග්‍රෑම් 300 මත්පෙති 599,000ක් සොයාගෙන ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් මුළු මත්පෙති සංඛ්‍යාව හත් ලක්ෂ හතළිස් හතර දහස් පන්සීයක් (744,500) වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි රියදුරු සහ 28 හැවිරිදි සහයකයා ඊයේ (03) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් අසංක මහතාගේ උපදෙස් පරිදි වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














