8 September 2024
#දේශීය #පුවත්

වතු සේවක වැටුප් වැඩිවීම ස්ථිරයි – රාජ්‍ය අමාත්‍ය රංජිත්

වතු සේවකයින්ගේ වැටුප් වැඩිවීමේ යෝජිත ගැසට් පත්‍රයට අමතරව ක්‍රියාත්මක ගැසට් පත්‍රය 21 වනදා නිකුත් වූ බවත් , ඒ අනුව එදින සිටම ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වාත් , විශේෂ දීමනාවක් ලෙස ලබාදෙන රුපියල් 350 ක මුදල සමඟ රුපියල් 1700 කින් වතු සේවක වැටුප ඉහළ නැංවීම ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දැරණියගල – දංගම්පල ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමිනි.

රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24 ක් පමණ ඇති බවත් , ඒ අතරින් යම් අයෙකු මෙම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බව හෙතෙම පැවසිය.

1995 වසරේ පටන් වතු බදු ගත් කණ්ඩායමකට මෙවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි නම් ඊට හේතුව භාහිර ගැටළුද නොඑසේ නම් එය ඔවුන්ගේ අභ්‍යන්තර ගැටළු නිසාද යන්න සොයා බැලීම මෙම කමිටුව මගින් මූලිකව සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

ඒ අනුව වතු සේවකයන්ට ජීවත්වීමට හැකි පරිදි වැඩිකළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ අභ්‍යන්තර ගැටළුවක් නම් එම සමාගම් සමඟ ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට මෙම වතු ලබාදීමට රජය සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී එම වතු නව ආයෝජකයන්ට ලබාදීම විශේෂ විනිවදභාවයෙන් යුතුව පමණක් සිදු කරන බවත් , විශේෂයෙන් එහිදී අපනයනය මුල් කරගත් , සේවක සුභසාධනය , යටිතල පහසුකම්, නව තාක්ෂණය යොදා ගැනීම ආදී කරුණු පිලිබඳව සැලකිලිමත් වී කටයුතු කළ හැකි නව කණ්ඩායමකට ඉතාමත්ම තරඟකාරී ක්‍රමවේදයක් යටතේ නව බදු දීම් සිදුකරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *