විද්‍යුත් මෝටර් රථවල (EV) බහුලව දක්නට ලැබෙන සැඟවුණු දොර මිටු (Hidden Door Handles) නිර්මාණය තහනම් කිරීමට චීන රජය පියවර ගෙන ඇති අතර, එවැනි තීරණයක් ගත් ලොව පළමු රට බවට චීනය පත්වෙයි. ටෙස්ලා (Tesla) මෝටර් රථ හරහා ලොව පුරා ජනප්‍රිය වූ මෙම තාක්ෂණය හේතුවෙන් මෑතකදී චීනයේ සිදුවූ මාරක රිය අනතුරුවලදී විදුලි පද්ධතිය බිඳ වැටීම නිසා මගීන්ට දොරවල් විවෘත කර ගැනීමට නොහැකි වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව, 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි චීනයේ අලෙවි කරන සෑම මෝටර් රථයකම දොරවල් ඇතුළතින් සහ පිටතින් විවෘත කළ හැකි යාන්ත්‍රික මුදා හැරීමේ පද්ධතියක් (Mechanical Release) තිබීම අනිවාර්ය කර ඇත.
චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ නව රෙගුලාසිවලට අනුව, සෑම මගී දොරකම පිටත මිටට ප්‍රවේශ විය හැකි පරිදි අවම වශයෙන් සෙන්ටිමීටර 6 x 2 x 2.5 ප්‍රමාණයේ ඉඩක් තිබිය යුතු අතර, දොර විවෘත කරන ආකාරය දැක්වෙන පැහැදිලි සලකුණු ඇතුළතින් ප්‍රදර්ශනය කළ යුතුය. දැනට චීනයේ වැඩියෙන්ම අලෙවි වන නව බලශක්ති වාහනවලින් 60%ක පමණ මෙම සැඟවුණු දොර මිටු භාවිතා වන අතර, චීනයේ මෙම තීරණය ලෝක මෝටර් රථ කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව, ඇමරිකාවේ මහා මාර්ග ආරක්ෂක මණ්ඩලය (NHTSA) ද ටෙස්ලා මෝටර් රථවල දොර මිටු හදිසියේ අක්‍රිය වීමෙන් ළමුන් වාහන තුළ සිරවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














