පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවූ බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී ඊයේ (29) අනාවරණය විය.
මේ අනුව 2023 ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සදහා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බවද විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි.
මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු බිලියන 650කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් මෙහිදී අනාවරණය විය. ඉන් රු. බිලියන 35කට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සදහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රු. බිලියන 75 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රු. බිලියන 50ක ණය මුදලින් මෙම සැපයුම් කරුවන්ට ණයවලින් යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුහු පැවසූහ.
සූර්ය බලශක්ති ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නියෝජිතයෝද, විදුලිබල ක්ෂේත්රයට අදාළ අනෙකුත් පෞද්ගලික ආයතනවල නියෝජිතයෝද සිය ගැටලු සහ විදුලිබල ක්ෂේත්රයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබද කාරක සභාව දැනුවත් කළහ.
මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේශන්, එම්.රාමේශ්වරන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.