ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අලුත් පරිච්ඡේදයක් ලියැවෙමින් පවතී. එය අලුත් යනුවෙන් හඳුන්වනවාට වඩා නැවුම් පරිච්ඡේදයකැයි පැවැසීම වඩා උචිත ය. මේ පරිච්ඡේදයේ පිටු පෙරලන විට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් කියැවෙන වාසගම වන්නේ රාජපක්ෂ ය. ඊට මහින්ද නාමය එක් වූ කළ තවත් ගරු ගාම්භීර බවක් එක්වෙයි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු ඇතුළු රාජපක්ෂවරු මෑත කාලයේ රට වෙනුවෙන් ඉටු කළ දැවැන්ත කාර්යයභාරය වෙනුවෙන් දක්වන සැලකිල්ල හේතුවෙනි. ඉන් නොනැවතුණු රාජපක්ෂවරු එක්වයන ගමන්මග ශක්තිමත් කරන්නට පියවර කිහිපයක් ඉදිරියට තැබී ය. ඔවුහු අභියෝග හමුවේ නොසැලී සිටින්නට සමත් පරපුරක් බව ද ලොව හමුවේ සපථකරන්නට පියවර ගණනාවක් තැබුවේ සියල්ලන් මවිත කරමිනි.
තිස් වසක යුද බිය පරාජයට පත් කරමින් ලොව දරුණු ම ත්‍රස්තවාදයට එරෙහි සටන ජයගත් රාජපක්ෂවරුන්ගේ සහසම්බන්ධීය නායකත්වය මැතිවරණයකින් පරාජයට පත්වන්නේ රට සංවර්ධනයේ කඩඉමක පසුවන විට ය. ඒ 2015 ජනවාරි අට වන දින පැවැත්වූ ජනාධිපතිවරණයේ දී ය. එම ජනාධිපතිවරණයෙන් ඉක්බිති පැවැත්වූ මහා මැතිවරණය ද තීරණාත්මක තලයේ රට රැන්දවූවද තීරණාත්මක ජයග්‍රහණයක් අත්කරගන්නට තිබූ ඉඩකඩ කොල්ලකෑමකට ලක්වී ය.
මේ කිසිවකින් අධෛර්යය ට පත් නොවූ රාජපක්ෂ සොහොයුරෝ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දැවැන්ත අභියෝගයක් කරට ගත්තේ ය. ඒ අන් කිසිවක් නොව, පක්ෂ දේශපාලනයේ සන්ධානගතව දේශපාලනය කරද්දීම තවත් පක්ෂයක් අලුතින් නිර්මාණය කිරීමට පියවර ගැනීමේ අභියෝගයයි. නියමින් හා අනියමින් 2015 ජනවාරියේ අත්වූ පරාජයට වගකිව යුත්තා බවට අතැමුන් විසින් චෝදනා කළ බැසිල් රාජපක්ෂ මේ දැවැන්ත අභියෝගය ජයගැනීමට පියවර තැබුවේ සීරුවෙනි. ඒ අභියෝගාත්මක ගමන්මගේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට වසර දෙකක් වැනි කෙටි කාලයක දී ඔහු සමත්වන්නේ ය. ඒ අනුව, 2017 නොවැම්බර් 17 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් වූ නවමු පක්ෂයේ මංගල මාධ්‍ය හමුව පැවැත්වී ය.
ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙන්දේසියට ලක් කළ රජයක් දිගින් දිගට ම මැතිවරණ කල් දමද්දී අධිකරණයේ පිහිටෙන් යුතුව 2018 පෙබරවාරි 10 වන දින පැවැත්වූ පලාත් පාලන මැතිවරණයෙන් මේ නැවුම් ළදරු පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගත්තේ ය. තනි පක්ෂයක් ලෙස එය ශ්‍රී ලංකාවේ දැවැන්තම ජන පදනමක් සහිත පක්ෂය බවට සනාථ කළේ ය. එහි ගරුත්වය අවිවාදිතව බැසිල් රාජපක්ෂයන්ට ම හිමි වී ය.
මේ මොහොතවනවිට ව්‍යවස්ථාදායකයේ බල තුලනය විකෘතිසහගත වී ය. නිල විපක්ෂය ලෙස අභිෂේක ගන්වා සිටියේ යහපාලන රජයේ ම කොන්ත්‍රාත්කරුවන් පිරිසක් වීම මෙහි ඇති අභව්‍යයයි. එහෙත් විපක්ෂයේ භූමිකාවට පණ පොවනු ලැබූවේ ‘ඒකාබද්ධ විපක්ෂය’ නමින් සංවිධානය වී ජනතා අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටි මහින්ද රාජපක්ෂ කදවුරේ නියෝජිතයින් ය. මේ තත්ත්වය හමුවේ වුවද, මැතිසබයෙන් පිටින් සිටිමින් වුවද, උපක්‍රමිකව සංවිධානය වෙමින් සිය බලමුළු තර කළ බැසිල් රාජපක්ෂ නියමුවා විසින් එම වසරේ ම අවසාන කාර්තුව වනවිට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය ද සිය සොයුරා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යළි ලබා ගන්නට භූමිය සකස් කළේ ය.
දැන් යලිත් රාජපක්ෂවරු මැතිවරණයකින් ජය ගෙන තිබේ. රටේ තීරණාත්මක මොහොතක, ජාතියේ ඉරණම තීන්දු කරන සන්ධිස්ථානයක දී පැවැත්වූ ජනාධිපති මැතිවරණයෙන් රාජපක්ෂ සොහොයුරෙක් ම ජය ගෙන සිටී. මැතිවරණ දේශපාලනයෙන් බලයට පැමිණ සිටි අන් රාජපක්ෂවරුන්ට වඩා ඔහු වෙනස් මගක් ගත්තෙකි. රට යදිමින් සිටියේ ද එවන් වෙනස් වූ නායකත්වයකි. ඒ නිසා ම ඓතිහාසික ජයග්‍රහණයක් එම රාජපක්ෂ සොයුරා ට ලබා දෙන්නට රටේ බහුතරයක් ජනයා පසුබට නොවී ය.
මෙම ජයග්‍රහණය කෙතරම් ආකර්ශණීය ද හා ඓතිහාසික ද යත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා පත් වූ පලමු පැයේ සිට ම රට ම ප්‍රමෝදයෙන් මුසපත් වූවා වැනි ය. අන්තර් ජාතික ප්‍රජාවෙන් ද නොතිප් පැසසුම් හා සුබ පැතුම් ගලා එන්නට වී ය. මැතිවරණ දිනයේ අවසන් පැය දක්වා ම රටේ ආණ්ඩු පක්ෂයෙන් කාන්දු කළ සියලු මඩ හා අවලාද හමුවේ වුව ද රාජපක්ෂවරුන් වෙනුවෙන් ම කැප වු භාවාත්මක ජන සමූහයක් රට පුරා සබුද්ධිකව ජයග්‍රහණයේ හිණිපෙත ජය මල් පිපෙනු දකිනු රිසින් පසු වී ය.
රටක ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජය පිට ජය ලැබෙමින් පැවැතියා වුව ද, පරාජිත අපේක්ෂකයා හිමි ආණ්ඩුව කරවූ පාර්ශවයට ද රට වෙනුවෙන් වගකීමක් ඇති බව තේරුම් ගත යුතු වුවත් එය නිසි පරිදි ඉටු කරන්නට මැලිකමක් දක්වන බවක් ප්‍රකට ය. මේ ජයග්‍රහණයේ විශේෂත්වය නම් විධායකය හා ව්‍යවස්ථාදායකය පාර්ශව දෙකක්වෙත නියෝජනයට යළි අවස්ථාව උදාවීම ය. එහිදී රට ට අත්විය හැකි අනිටු පලවිපාක මැඩලීමට නම් පවතින ව්‍යස්ථාදායකයේ බලය ද විධායකයේ පාර්ශවයට හුවමාරු වීම සුදුසුය යන මතය කලක පටන් අවබෝධිතව පැවැතුණි. එනයින්, ඊට අවකාශ සැලසීම පලමු පැයේ දී ම සිදුවූවා නම් විනාශයට ලක් කළ දේශය යළි පහුසවෙන් ගොඩගැනීමට තවත් පහසු මාවතක් විවර කරගත හැකිව තිබුණි.
පමා වී හෝ එක්සත් ජාතික පක්ෂ නායකත්වය පියවරක් පසුපසට යමින් අගමැතිධුරයෙන් ඉවත්ව යාමට තීරණය කර තිබේ. සුපුරුදු ලෙස රාජපක්ෂවරුන්ගේ සාමූහික එකඟත්වය මත රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට අවස්ථාවක් උදාවූ බව කිව යුතු ය.
තිස්වසක යුද්ධය ජය ගැනීමට එක්ව තීන්දු ගත්තා සේ ම, යුද බිය දුරු කළ දේශය තියුණූ සංවර්ධනයට ලක්කිරීමට එක්ව තීන්දු ගත්තා සේ ම, පස්වසක් තුල විනාශ කළ රට යළි පුබුදන්නට මේ එක්වන්නේ ද රාජපක්ෂවරුන්ම ය. දසවසක අඛණ්ඩ රාජපක්ෂ පාලනයෙන්ද, පස්වසක විනාශය දකිමින් සිටි අවබෝධයෙන් ද පෙරට වඩා වෙනස් වූ විනයක් හා සංවර්ධනයක් ඇති රටක් වෙනුවෙන් මොවුන් කැපවන බවට දැනටමත් සාධක ප්‍රදර්ශනය වෙමින් තිබේ.
මේ වෙනස ඇතැමෙකුට දරාගනීමට පවා නොහැකි වෙනසක්වනු නොඅනුමානය. මන්දයත් බල දේශපාලනයේ අවස්ථාවාදය නිති කිති කැවෙන සුළු ය. එබැවින් නොපෑහෙන හෝ නොරිසි තැන හෙවනැල්ලත් ඇදට පෙනිය හැකි ය. දියුණු යැයි කොතෙක් පැවැසුවද බල දේශපාලනයේ කුහක පටු අරමුණු වෙනුවෙන් කැපවන්නා කිසිවිටෙකත් බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලීම් තඹයකට ගණනකට නොගන්නා බව අප අද්දැක ඇති නිසා එම සැකය පවතින්නේය.
රාජපක්ෂවරුන් ගේ මේ පාලන කාලයන් අතර වෙනසක් දැකිය හැකිවනු ඇත. ජනතාව ඉල්ලුවේ ද, ජනතාව ප්‍රාර්ථනා කරන්නේ ද එම වෙනස ය. ඒ නිසා, අයියාගේ පාලන කාලයට වඩා වෙනස් මගක් මල්ලීගේ පාලන කාලයේ ඇතිවිය හැකි ය. අයියාගේ පාලන කාලයේ නොපැන වූ විනය නීති මල්ලීගේ පාලන කාලයේ පැනවිය හැකි ය. එහෙත් සහෝදරත්වයෙන් ඒ සියල්ලට කැපවී කටයුතු කරනු ඇත. මේ වෙනස ද මේ අද්දැකීම ද අපගේ සමාජයට අලුත් විය හැකි ය. රටේ උන්නතිය, සමාජයේ යහ ප්‍රගමණය හා සදේශපාලනික දියුණුව පතන අපි මේ දෙස සුබවාදීව බලා සිටිමු.
* සටහන :
අකලූෂ විද්‍යාතිලක
2019 නොවැම්බර් 21