පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන එන පනත් කෙටුම්පත සම්මත කිරීමේදී, තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය විපක්ෂයේ නායකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, ශානක්කියන් රාසමාණික්කම් සහ අර්චුනා රාමනාදන් යන මහත්වරුන් වෙත මෙම ඉල්ලීම් යොමු කර ඇති බව වාර්තා වේ.
විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා පවසන්නේ, මෙම නව නීතිය අතීතයට බලනොපාන අයුරින් සකස් විය යුතු බවයි. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අතහැර මන්ත්‍රී ධුරයට පත්වූ පිරිස් වෙත මෙයින් දැඩි අසාධාරණයක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි. මෙම පනත සම්මත වුවහොත් හිටපු මන්ත්‍රීවරුන්, ඔවුන්ගේ කලත්‍රයන් සහ දරුවන් ඇතුළු ප්‍රතිලාභීන් 519 දෙනෙකුට සිය ජීවනෝපාය අහිමි වීමේ අවදානමක් පවතින බව එම සංසදය වැඩිදුරටත් සඳහන් කරයි.














