වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් හෙට (02) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වර්ජනයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ඒ අනුව හෙට දිනයේදී රට පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉටු කරනු ලබන සායනික කටයුතු, ශල්‍යකර්ම සහ අනෙකුත් ප්‍රතිකාර සේවාවන් බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇත.විශේෂඥ වෛද්‍යවරුන් සඳහා රජය මගින් සකස් කරනු ලබන නව සේවා ව්‍යවස්ථාවට විරුද්ධව ඇතැම් වෛද්‍ය සංගම් මෙම වර්ජනය දියත් කර ඇති අතර, එය තම සංගමයේ ඉල්ලීම්වලට පටහැනි බව වෛද්‍ය ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.
දැනට මෙරට සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් 2,300කින් 2,060ක්ම සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා රජයට සංදේශයක් භාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජය පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














