ශ්රීලන්කන් ගුවන් සමාගමේ ටෙන්ඩර් මණ්ඩලයේ ගනුදෙනුවල තොරතුරු ඇතුළත් පරිගණකයේ දත්ත මකා දමා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (03 වැනිදා) නියෝග කළේය.
එම පරිගණකයේ දත්ත ගබඩාව (Hard Disck) භාරයට ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත වහාම යොමුකර වාර්තාවක් ගන්නා ලෙසද ප්රධාන මහෙස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට නියෝග කළේ ය.
ශ්රීලන්කන් ගුවන් සමාගමට ආර්ථික පන්තියේ බස් (Coaches) තුනක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් ගනුදෙනුවල තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලෙසද ප්රධාන මහෙස්ත්රාත්වරයා එම ගුවන් සමාගමට නියෝග කළේ ය.
ශ්රීලන්කන් ගුවන් සමාගම වෙත එම බස් මිලදී ගැනීමේ ගනුදෙනු මගින් තම ආයතනයට ලැබිය යුතු ඇමරිකානු ඩොලර් 738,000 ක් පාඩු කිරීම සාපරාධී විශ්වාසය කඩකිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෙලි ඇසෝසියේට්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ තුෂාර ජනක විසින් කර තිබූ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්රධාන මහෙස්ත්රාත්වරයා එම නියෝගය කළේ ය.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා එහි ප්රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙස ප්රධාන මහෙස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේ ය.