ශ්‍රී ලංකාවේ ඒකක භාර (Unit Trust) ක්ෂේත්‍රය කළමනාකරණය කරනු ලබන මුළු වත්කම් වටිනාකම 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 587ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ඒකක භාර සංගමය (UTASL) පවසය.
මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 7.8ක වර්ධනයක් වන අතර, වසරේ එක් අවස්ථාවකදී මෙම වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 613ක උපරිම අගයක් ද වාර්තා කර තිබේ.
රටේ පවතින ආර්ථික ප්‍රකෘතිමත් වීමත් සමඟ වෘත්තීය මට්ටමින් කළමනාකරණය කෙරෙන අරමුදල් කෙරෙහි ආයෝජකයින් තුළ පවතින විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇති බව මෙයින් පැහැදිලි වේ.
මෙම වසරේ විශේෂත්වයක් වන්නේ ආයෝජකයින් කෙටි කාලීන ස්ථාවර ආදායම් මාර්ගවලින් බැහැරව දිගුකාලීන කොටස් වෙළෙඳපොළ වර්ධනයන් (Equity Funds) කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමයි. ස්ථාවර ආදායම් අරමුදල් සඳහා රුපියල් බිලියන 2ක ආයෝජන ලැබෙද්දී, කොටස් වෙළෙඳපොළ ආශ්‍රිත අරමුදල් සඳහා රුපියල් බිලියන 30ක දැවැන්ත ආයෝජනයක් ලැබී තිබේ. එසේම, මෙම වසර තුළ නව ආයෝජකයින් 30,485 දෙනෙකු මෙම ක්ෂේත්‍රයට අලුතින් එක් වී ඇති අතර, ඒ අනුව මුළු ආයෝජකයින් සංඛ්‍යාව 143,976ක් දක්වා සියයට 25.4කින් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා ඒකක භාර සංගමයේ ලේකම් ජීවන් සුකුමාරන් මහතා සඳහන් කළේ, මෙම වර්ධනය මඟින් දිගුකාලීන ආයෝජන සංස්කෘතියක් කරා ශ්‍රී ලාංකිකයින් යොමු වෙමින් පවතින බව මනාව නිරූපණය වන බවයි. ඉදිරියේදී ආයෝජන අධ්‍යාපනය සහ නියාමන විනිවිදභාවය ඉහළ නැංවීම හරහා ඒකක භාර ආයෝජන මෙරට ප්‍රධාන පෙළේ ආයෝජන විසඳුමක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














