ශ්‍රී ලංකාවේ කාර්මික ප්‍රගමනය උදෙසා ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (05) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. පූජනීය දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීමට පැමිණි ගුජරාටි ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සහ නියෝජ්‍ය මහ ඇමති හර්ෂ් සන්ගාවි මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී ඉදිකිරීමට නියමිත ත්‍රිකුණාමලය ඛනිජ අගය එකතු කිරීමේ කර්මාන්ත කලාපය සහ පරන්තන් රසායනික කර්මාන්ත කලාපය තුළ ආයෝජනය කිරීමට ඇති අවස්ථා පිළිබඳව විශේෂ අවධානය යොමු විය. මීට අමතරව මෙරට ඇඟලුම් කර්මාන්තය සහ ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත ගම්මාන හරහා ගුජරාටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2026’ ප්‍රදර්ශනය සඳහා නිල වශයෙන් ආරාධනා කළ අමාත්‍යවරයා, ඒ සඳහා පැමිණෙන ආයෝජකයින්ට රජය මගින් අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට පොරොන්දු විය.














