ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ජනවාර්ගික ගැටලුව විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට දරන උත්සාහය සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා සිය දැඩි කනස්සල්ල පළ කර ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ, යෝජිත නව ව්‍යවස්ථා රාමුව මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතල අවදානමක් එල්ල වී ඇති බවයි.
නව ව්‍යවස්ථාව මගින්ද ශ්‍රී ලංකාව “ඒකීය රාජ්‍ය” සංකල්පය තවදුරටත් ශක්තිමත් කිරීමට උත්සාහ කරන බවත්, එමගින් දෙමළ ජනතාවගේ සැබෑ දුක්ගැනවිලිවලට විසඳුම් නොලැබෙන බවත් ස්ටාලින් මහතා අවධාරණය කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ව්‍යවස්ථාමය ක්‍රියාවලියේදී සුළු ජනකොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි බලය බෙදී යන “ෆෙඩරල්” පාලන ක්‍රමයක් ඇති කිරීමට ඉන්දියාව මැදිහත් විය යුතු බව මහ ඇමතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු වන පරිදි ව්‍යවස්ථාව සකස් කිරීමට නවදිල්ලිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බලපෑම් කළ යුතු බවත්, එවැනි මැදිහත්වීමක් කලාපීය සාමය ආරක්ෂා කිරීමට ඉවහල් වන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. ඉන්දීය දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ තමිල්නාඩු රජයේ මෙම මැදිහත්වීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් කෙරෙහි ඉන්දීය මධ්‍යම රජයේ අවධානය දැඩිව යොමු වනු ඇති බවයි.













