ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රය තුළ මහා පරිමාණ ආයෝජන සිදු කිරීමට චීන වාණිජ මණ්ඩලය සිය සූදානම පළ කර තිබේ.
දැනට නිසි ප්‍රයෝජනයට නොගෙන පවතින රජයේ ඉඩම් උපයෝගී කරගනිමින් මෙරට කෘෂි ආර්ථිකය නව මාවතකට යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අපේක්ෂාවයි.
චීන වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය මූලික වශයෙන් ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කරයි
ඒ නවීන තාක්ෂණය භාවිත කරමින් මහා පරිමාණ කිරි නිෂ්පාදන ගොවිපොළවල් ස්ථාපිත කිරීම සහ විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් උසස් ප්‍රමිතියෙන් යුත් එළවළු සහ පලතුරු වගා ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමයි
මෙම ව්‍යාපෘති සඳහා රජය සතු, දැනට වගා කටයුතු සඳහා යොදා නොගන්නා ඉඩම් ප්‍රශස්ත ලෙස භාවිත කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින පුරන් වූ හෝ අත්හැර දමා ඇති ඉඩම් මේ සඳහා හඳුනා ගැනීමට නියමිතය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර පසුගියදා ගොවිජන මන්දිරයේදී පැවැත්වූ විශේෂ හමුවකදී මෙම කරුණු සාකච්ඡා වී තිබේ. ආයෝජනයට අදාළ නිශ්චිත යෝජනාවලිය අමාත්‍යවරයා වෙත මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ද නිල වශයෙන් ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ධනාත්මක ප්‍රතිචාරය පළ කර ඇති අතර, මෙවැනි විදේශීය ආයෝජන මඟින් දේශීය රැකියා වෙළඳපොළ පුළුල් වීම සහ විදේශ විනිමය ඉපයීමේ හැකියාව වර්ධනය වීම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














