ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ලබා දී ඇති මූල්‍ය සහ ණය ඉලක්ක අභිබවා සාර්ථක ලෙස කටයුතු කිරීම හේතුවෙන්, මෙරට ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ දැක්ම (Rating Outlook) මේ වසරේදී ‘ස්ථාවර’ (Stable) මට්ටමේ සිට ‘ධනාත්මක’ (Positive) මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව (Standard Chartered) පුරෝකථනය කරයි. මෙම තත්ත්වය හමුවේ 2027 වසර වන විට මෙරට සමස්ත ණය ශ්‍රේණිගත කිරීමේ අගය (Credit Rating) පූර්ණ උසස් කිරීමකට ලක්වනු ඇති බව එම බැංකුවේ දකුණු ආසියානු ආර්ථික විද්‍යාඥ සෞරව් ආනන්ද් මහතා ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර පුරෝකථනය කර තිබුණේ ශ්‍රී ලංකාවේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 100% ක මට්ටමට පැමිණීමට 2028 වසර දක්වා කාලය ගතවනු ඇති බවයි. කෙසේ වෙතත්, වත්මන් ආර්ථික ගමන් මඟ අනුව එම ඉලක්කය නියමිත කාලයට වසරකට පෙර, එනම් 2027 වසරේදී සපුරා ගැනීමට හැකි වනු ඇති බව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ විශ්වාසයයි. 2022 වසරේදී 126% ක්ව පැවති මෙම අනුපාතය 2025 වසර වන විට 104% ක් දක්වා පහත වැටී ඇති බව ද එහිදී පෙන්වා දෙන ලදී.
වාහන ආනයන තහනම ලිහිල් කිරීම හේතුවෙන් 2026 වසරේදී ඩොලර් මිලියන 800ත් බිලියන 1ත් අතර අතිරේක විදේශ විනිමය ප්‍රමාණයක් වැය වනු ඇතැයි ගණන් බලා තිබුණද, එය මෙරට විදේශ සංචිත කෙරෙහි දැඩි බලපෑමක් ඇති නොකරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පවසති. 2026 වසර අවසානය වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.5ත් 8ත් අතර මට්ටමක පවතිනු ඇති බවට ද ඔවුහු විශ්වාසය පළ කරති. එසේම, 2025 වසරේ අවසාන භාගයේ බලපෑ සුළි කුණාටු තත්ත්වය හමුවේ වුවද, 2026 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය 3.5% ත් 4% ත් අතර මට්ටමක පවතිනු ඇතැයි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වැඩිදුරටත් පුරෝකථනය කර තිබේ.
මෙරට ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) නීති කඩිනමින් සම්මත කර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි.














