සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතය පිළිබඳ ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම සුවිශේෂී වැඩපිළිවෙළ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යුනිසෙෆ් (UNICEF) ආයතනයේ සහයෝගය ඇතිව සකස් කර ඇති අතර මෙහි ප්‍රධාන අරමුණ වන්නේ රෝගී සත්කාරයේදී ඔක්සිජන් භාවිතය ප්‍රමිතිගත කිරීමයි. එමෙන්ම වෛද්‍ය පරිපාලකයින්, විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ තාක්ෂණික දැනුම ශක්තිමත් කිරීමද මෙහි තවත් අරමුණක් වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) කුමාර වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙම මාර්ගෝපදේශ මාලාව සම්පාදනය කර ඇති අතර එය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දීමද මෙහිදී සිදුකෙරුණා.
මේ සමඟම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් 100 දෙනෙකු පුහුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් මාලාවක්ද ආරම්භ කර තිබෙනවා. මොවුන් පසුව දිවයින පුරා පිහිටි රෝහල්වල කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් පුහුණු කිරීමට නියමිත අතර එමඟින් සියලුම රෝහල්වල එකම ආකාරයක විධිමත් පද්ධතියක් පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරෙනවා. කොළඹදී පැවති මෙම සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍ය ජයතිස්ස මහතා කියා සිටියේ රෝහල් සේවා සඳහා ඔක්සිජන් සැපයීමට රජය වාර්ෂිකව සැලකිය යුතු මුදලක් වැය කරන බවත් මෙම නව මාර්ගෝපදේශ සහ පුහුණු වැඩසටහන් මඟින් රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය සහ සංවිධානාත්මක බව තවදුරටත් ඉහළ නංවාගත හැකි වනු ඇති බවත්ය.














