පෙබරවාරි 05 – ශ්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් 2026 ජනවාරි 15 වනදා එක් දිනක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව ලෙස සංචාරකයන් 10,483ක් වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2026 වසරේ පළමු මාසය වන ජනවාරි මාසය තුළ පමණක් සංචාරකයන් 277,327ක් මෙරටට පැමිණ ඇති අතර, එය 2025 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 9.7ක වර්ධනයකි. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසය වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත මාසය ලෙස සැලකුණද, 2025 දෙසැම්බරයට වඩා සංචාරකයන් 18,000ක වැඩිවීමක් 2026 ජනවාරියේදී දක්නට ලැබීම විශේෂත්වයකි.
මෙම සංචාරක පැමිණීම් අතර වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 52,061කි. මීට අමතරව එක්සත් රාජධානිය, රුසියාව සහ ජර්මනිය යන රටවලින් ද සැළකිය යුතු සංචාරක පිරිසක් පැමිණ ඇති අතර චීනයෙන් පැමිණි සංඛ්‍යාව 14,003ක් ලෙස සටහන් වේ. කෙසේ වෙතත්, පසුගිය වසරට සාපේක්ෂව රුසියාවෙන් සහ චීනයෙන් පැමිණෙන සංචාරකයන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 2025 වසරේදී මිලියන 2.36ක ඉහළම වාර්ෂික සංචාරක පැමිණීමක් වාර්තා කළ ශ්‍රී ලංකාව, 2026 වසර අවසානය වන විට සංචාරකයන් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරයි.














