ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය සඳහා ප්‍රවේශයක් ලබාගැනීමට ජයග්‍රහණය අනිවාර්ය ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ (8 වැනිදා) ක්‍රියාත්මක වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 348ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5ම ලකුණු 122ක් තුළ දවාලීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 358ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 328ක් රැස් කළේය. දකුණු අප්‍රිකානු දෙවන ඉනිම ඊයේ ලකුණු 317කට සීමා විය.
ඊයේ දිනය සඳහා දකුණු අප්‍රිකාවේ ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ තරගය ආරම්භ වන විට දකුණු අප්‍රිකාව දෙවන ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 191ක් රැස් කොට සිටියේය. ඊයේ දිනයේදී ලකුණු පුවරුවට තවත් ලකුණු 126ක් එක් කිරීමට ඔවුන් සමත් වූ අතර පන්දු යැවීමෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූවේය.
ලකුණු 348ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගිය අතර පැතුම් නිස්සංක මුලු ලකුණු 47ක් වන විට දෙවන කඩුල්ල වශයෙන් දැවී ගියේය. ලකුණු 29ක් රැස් කළ දිනේශ් චන්දිමාල් ඉනිමේ තුන්වන කඩුල්ල වශයෙන් දැවි ගිය අතර ඉන් අනතුරුව ලකුණු 53 සබඳතාවක් සිව්වන කඩුල්ල සඳහා කමිඳු මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් පිහිටවූහ. ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ගෙන ආ මෙම සබඳතාවය මැතිව්ස් ලකුණු 32කට දැවී යෑමත් සමඟින් නිම වූ අතර, ශ්‍රී ලංකා ඉනිමට තවත් මරු පහරක් වෙමින් පස්වන කඩුල්ල වශයෙන් ස්ථාවර වූ අනෙක් පිතිකරු කමිඳු මෙන්ඩිස් ඉන් පන්දු 8කට පසු ලකුණු 35කට දැවී ගියේය.
ඊයේ දිනය සඳහා පත්‍රය මුද්‍රණයට යැවෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 153ක් රැස් කොට තිබූ අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 195ක් අවශ්‍ය විය. අද (9 වැනිදා) තරගයේ අවසන් දිනය ක්‍රියාත්මක වීමට නියමිතය.