ශ්‍රී ලංකාවේ සංචාරක ඉතිහාසයේ ජනවාරි මාසයක් තුළ වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම සනිටුහන් කරමින් 2026 වසරේ පළමු මාසය තුළ සංචාරකයින් 277,327 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. මෙය 2025 වසරේ ජනවාරි මාසයේ පැමිණි 252,761ක සංචාරක පිරිස අභිබවා යාමක් වන අතර ජනවාරි 15 වැනිදා පමණක් සංචාරකයින් 10,483 දෙනෙකු පැමිණීම විශේෂත්වයකි. වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් (52,061) වාර්තා වන අතර එක්සත් රාජධානියෙන් 29,540ක් සහ රුසියාවෙන් 27,134ක් වශයෙන් සංචාරකයින් පැමිණ ඇත. ඉන්දියානු සහ බ්‍රිතාන්‍ය සංචාරකයින්ගේ පැමිණීම පිළිවෙළින් සියයට 20කින් සහ සියයට 36කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතත්, රුසියානු සංචාරකයින්ගේ පැමිණීම සියයට 26කින් පමණ පහත වැටී ඇති බව දත්ත පෙන්වා දෙයි.
2025 වසරේදී මිලියන 2.36ක වාර්තාගත සංචාරක පැමිණීමක් සනිටුහන් කළ ශ්‍රී ලංකාව, 2026 වසරේදී අවම වශයෙන් සංචාරකයින් මිලියන 3ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කරන බව සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














