මහජන හඬ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (10) අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැදැක වත්මන් රජය යටතේ බෞද්ධ ශාසනයට එල්ල වී ඇතැයි කියන අභියෝග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත වූහ. මෙම හමුව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, ප්‍රේමනාත් සී. දොලවත්ත සහ සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කළේ බුදු දහමට එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා එළඹෙන 20 වනදා කොළඹදී මහා පාද යාත්‍රාවක් සහ සත්‍ය ක්‍රියාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. මෙම සංඝ පාගමන සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මඩ ප්‍රචාර පතුරුවමින් එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව පෙන්වා දුන් උන්වහන්සේ, මෙයට කිසිදු දේශපාලනඥයෙකු සහභාගී කර නොගන්නා බවත් මෙහි කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් වැඩිදුරටත් වදාළහ.














