ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත පිබිදීමකට ලක් වෙමින් පවතින පසුබිමක, 2026 වසර සඳහා නියමිත සංචාරක ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නව උපායමාර්ගික වැඩපිළිවෙලක් දියත් කර තිබේ.
එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පෙන්වා දෙන්නේ මෙරටට සංචාරකයින් පැමිණීම සාපේක්ෂව අඩු කාලසීමාවන් තුළ පවා ස්ථාවර සංචාරක ආකර්ෂණයක් පවත්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
මෙම ප්‍රවර්ධන වැඩපිළිවෙලෙහි සුවිශේෂී අවධානයක් යුරෝපීය කලාපය වෙත යොමු කර ඇත. විශේෂයෙන්ම ස්පාඤ්ඤය වැනි යුරෝපීය රටවල ගිම්හාන නිවාඩු කාලසීමාවන් ඉලක්ක කරගනිමින් එම වෙළෙඳපොළවල් හරහා මෙරටට වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව, කලාපීය වශයෙන් වැදගත් වන ඉන්දීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් දැනටමත් ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇත. දිල්ලිය, මුම්බායි සහ චෙන්නායි වැනි ඉන්දීය ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන් හරහා, මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් විවිධාංගීකරණය කිරීමටත්, ඉහළ ආර්ථික වටිනාකමක් සහිත සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමටත් අපේක්ෂා කෙරේ.
සංඛ්‍යාලේඛන දත්ත දෙස බැලීමේදී මෙම වැඩපිළිවෙලවල සාර්ථකත්වය දැනටමත් මනාව පිළිබිඹු වේ. 2026 වසරේ ජනවාරි මාසයේ මුල් සතිය තුළ පමණක් සංචාරකයින් 94,000 කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සභාපතිවරයා තහවුරු කරයි. මෙම සාධනීය ප්‍රවණතාවය ඉදිරි වසර පුරා පවත්වා ගැනීම හරහා ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ වඩාත් ශක්තිමත් ස්ථානයකට රැගෙන යාමට සංචාරක සංවර්ධන අධිකාරිය කැපවී සිටී.














