සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලසීමාව ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය සූදානම් වන බවට වාර්තා වේ. ඊට අදාළ ගැසට් නිවේදනය එළැඹෙන සති අන්තයේදී නිකුත් කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් සහල් ආනයනය සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අද (20 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
එම කාලසීමාව තුළ සහල් මෙට්‍රික් ටොන් හැත්තෑදහසක් ආනයනය කිරීමට රජය අපේක්ෂා කළත් ඊයේ (19 වැනිදා) වන විට සහල් ආනයනය කිරීමට හැකි වී තිබුණේ මෙට්‍රික් ටොන් දහසයදහසක් පමණි.
මේ අතර විෂය භාර ඇමැති වසන්ත සමරසිංහ සහ සහල් ආනයනකරුවන් අතර වෙළෙඳ අමාත්‍යංශයේදී ඊයේ (19 වැනිදා) සාකච්ඡාවක් පවත්වා තිබිණි.
එහිදී ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බදු මුදල රුපියල් 15කින් අඩු කරන ලෙසත් එලෙස අඩු කිරීමට නොහැකි නම් සහල් මිල වැඩි කිරීමට අවසර දෙන ලෙසත්ය.
එහෙත් එම ඉල්ලීම් දෙක ඇමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.