සහල් ආනයනය කිරීම යටතේ දින 20ක කාලය තුළදී සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් හතර දහසක් ආනයනය කර තිබේ.
සහල් ගෙන්වීමේ දෙවන අදියර මේ මස 24වන දින සිට ආරම්භ වූ අතර, මේ අනුව මෙරටට වරායෙන් ගොඩබෑ සහල් මෙට්‍රික් ටොන් 75,000ක් රේගුව විසින් මුදාහැර තිබේ.
මෙම සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික් ටොන් 43,000ක් නාඩු සහල් වේ. මීට අමතරව තවත් සහල් මෙට්‍රික් ටොන් 12,000ක් නැව් මගින් පැමිණ තිබෙන අතර, එම තොගයත් කඩිනමින් නිදහස් කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සහල් ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය 24වැනි දින නිකුත් කළ අතර, මේ අනුව ලබන මස 10වැනි දින දක්වා සහල් ගෙන්වීමට අවසර හිමි වේ.
සහල් ගෙන්වීමේ පළමු අදියර යටතේ මේ මස 10වැනි දින සිට 20වන දින දක්වා කාලයෙහි සහල් මෙට්‍රික් ටොන් 67,000ක් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබේ.
ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ෂකවරුන් හා ශාක නිරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කර තිබේ.