ස්පාඤ්ඤයේ දකුණුදිග ප්‍රදේශයේදී අධිවේගී දුම්රියක් පීලි පැන තවත් දුම්රියක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව එරට පොලිස් වාර්තා තහවුරු කරයි.
කෝඩෝබා (Cordoba) ප්‍රාන්තයේ ඇඩමූස් (Adamuz) නගරය අසලදී ඉරිදා සවස 6:40ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, මියගිය පිරිස අතර එක් දුම්රියක රියදුරෙකු ද වන බව එරට රූපවාහිනී සේවය වාර්තා කළේය.
මෙම අනතුරින් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 25 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. මලගා සිට මැඩ්රිඩ් දක්වා ධාවනය වූ ‘ඉරියෝ’ (Iryo) සමාගමට අයත් පෞද්ගලික අධිවේගී දුම්රියක් පීලි පැන අසල පිහිටි අනෙක් පථයට ඇතුළු වීමෙන්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි රෙන්ෆේ (Renfe) දුම්රියේ ගැටී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය දෙකෙහිම මගීන් 400කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇත.
අනතුර සිදුවූ ස්ථානයේ සහන සේවා කටයුතු ඉතා දුෂ්කර වී ඇත්තේ දුම්රිය මැදිරි දැඩි ලෙස හානියට පත්වී තිබීම සහ සුන්බුන් අතර තවමත් පිරිසක් සිරවී සිටීම හේතුවෙනි. ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ (Oscar Puente) ප්‍රකාශ කළේ මෙය අතිශය භයානක තත්ත්වයක් බවත්, දැනට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ විපතට පත්වූවන්ට සහන සැලසීමට බවත්ය. මෙම අනතුරත් සමඟ මැඩ්රිඩ් සහ අන්දලූසියා (Andalusia) අතර සියලුම දුම්රිය සේවා තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.














