අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන පෙබරවාරි 17 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබියදී, විභාග නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වන ‘වැලන්ටයින්’ සැණකෙළි සහ සාද සම්බන්ධයෙන් මවුපියන් සිය දැඩි අප්‍රසාදය පළ කර සිටිති. විභාග දෙපාර්තමේන්තුව විසින් එළැඹෙන 11 වනදා සිට විභාගය අවසන් වන තෙක් සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු තහනම් කර ඇති පසුබිමක, පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙවැනි උත්සව පැවැත්වීම දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවයට සහ විනයට බරපතල තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති.
විශේෂයෙන්ම ටිකට්පත් අලෙවි කරමින් පවත්වනු ලබන මෙම සැණකෙළි හරහා දරුවන් විභාග කටයුතුවලින් බැහැර කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන බවට චෝදනා කරන දෙමාපියන්, මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අදාළ අනීතික උත්සව නතර කිරීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශවලින් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














