අනුර කුමාර දිසානායක රජය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් වෙමින් පවතින පසුබිමක, සියලුම දෙමළ දේශපාලන පක්ෂ එක්ව පොදු එකඟතාවකට පැමිණ එකම ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි. වල්වෙටිතුරෙයි හි පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (07) රාත්‍රී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
1971 වසරේ පෙබරවාරි 07 වනදා යාපනයේ වල්වෙටිතුරෙයි හිදී පැවැති දෙමළ පක්ෂවල ඓතිහාසික එකමුතුවේ මහා සමුළුව සිහිපත් කළ ඒ මහතා, එදා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඇතුළු පක්ෂ හතරක් එක්ව නව ව්‍යවස්ථාවට එරෙහිව පොදු කරුණු නවයකින් යුත් ඉල්ලීමක් ඉදිරිපත් කළ බව පෙන්වා දුන්නේය. වර්තමානයේදී ද දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ශක්තිමත් හඬක් නැගීමට නම් එවැනිම දේශපාලන එකමුතුවක් අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














