මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක පිටුපස තහඩුවක් ගලවා ඇතුළු වී එහි තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරාගත් බව කියන “මෝදර සුදා” නමැති 21 හැවිරිදි තරුණයෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෝදර පොලිසියේ දූෂණ මර්ධන අංශය විසින් සැකකරු ඔහුගේ නිවසේ රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, අදාළ සුපිරි වෙළඳසැලෙන් සොරාගත් මත්පැන් බෝතල් කිහිපයක් විකුණා එම මුදලින් තමා මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවයි.
සැකකරු මාලිගාවත්ත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ ඔහු දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටී. මෑතකදී කොළඹ අවට ප්‍රදේශවල වාර්තා වූ තවත් සොරකම් කිහිපයකට මොහු සම්බන්ධ දැයි සොයා බැලීමට මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














