හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ බේරේ වැව අවට ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘Temple City’ ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූනි 30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡා කෙරිණි.
ගංගාරාම විහාරස්ථානයේ මඟපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමයි. ඒ සඳහා බේරේ වැව වටා පදික වේදිකාවක් ඉදිකිරීම, ප්‍රදේශය අලංකාර කිරීම සහ සංචාරක හිතකාමී පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු රාජ්‍ය ආයතන නියෝජිතයින් සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















