ලෝකයේ ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) කළමනාකරණය කිරීම සඳහා වූ නව සැලැස්මකට ඉරාන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව ඊයේ (30) අනුමැතිය ලබා දී තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම නව සැලැස්ම යටතේ එම මුහුදු සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ඉරාන රියාල් (Rial) මුදලින් බදු අය කිරීමට පියවර ගනු ඇත.
මෙමඟින් ඇමෙරිකානු සහ ඊශ්‍රායල නෞකා සඳහා එම මාර්ගයේ ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර ඉරානයට එරෙහිව සම්බාධක පනවා ඇති රටවල නෞකාවලට ද මෙම තහනම බලපැවැත්වේ. ඕමානය සමඟ එක්ව නීතිමය රාමුවක් සකස් කිරීමට ද මෙහිදී යෝජනා වී තිබේ. මේ අතර ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) ෆොක්ස් නිව්ස් වෙත ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සිය මිත්‍ර පාර්ශවයන් සමඟ එක්ව හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සහ නිදහස් නාවික ගමනාගමනය යළි තහවුරු කිරීමට කටයුතු කරන බවයි.
















