ශ්‍රී ලංකාවේ හදිසි වෛද්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවාව වන 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් අද (අප්‍රේල් 04) කොළඹදී නිල වශයෙන් විවෘත කර තිබේ. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ද මීට එක්ව සිටියහ. ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක හදිසි ප්‍රතිකාර සේවාවක් ලබා දීමේ අරමුණින් මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම නව කාර්යාලය පිහිටුවීම හරහා 1990 ගිලන්රථ සේවාවේ මෙහෙයුම් කටයුතු, දිවයින පුරා පවතින ඒකක අතර සම්බන්ධීකරණය සහ හදිසි වෛද්‍ය ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම හදිසි අනතුරකදී හෝ රෝගී තත්ත්වයකදී රෝගියා රෝහල වෙත රැගෙන යන අතරතුර ලබා දෙන පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාව (Pre-hospital care) මෙහිදී වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇත. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළේ, තාක්ෂණය සහ නවීන කළමනාකරණ ක්‍රමවේද භාවිත කරමින් සුවසැරිය සේවාව ඉදිරි කාලයේදී තවදුරටත් පුළුල් කිරීමට රජය පියවර ගන්නා බවයි.














