2019 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව ලිහිල් බදු ක්‍රමවේදයක් හඳුන්වා දීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමි වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
අගමැති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනය පහත පරිදි සම්පුර්ණයෙන් දැක්වේ.
මාධ්‍ය නිවේදනය
2019 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව ලිහිල් බදු ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය හා සඵල සේවා සඳහා බදු නිදහස් කිරීම්, බදු අඩු කිරීම් සහ බදු විරාම වැනි බදු සහන ගණනාවක් හඳුන්වා දෙමින්, එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීම සහ එකතු කළ අගය මත බද්දෙහි හා පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීම මෙම ප්‍රතිසංස්කරණවලට ඇතුළත් විය. මේ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමි විය.
කෙසේ වුවද, 2020/2021 වසරවල දී ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කරන ලද කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය සහ ඒ ආශ්‍රිත ප්‍රවණතා යම් තාක් දුරකට හේතු වුවද, මෙම බදු ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ආදායම සැළකිය යුතු ලෙස අඩු වීමට හේතු වූ ප්‍රතිපත්ති ලෙස මේ වන විට සැළකෙන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙහි (ද.දේ.නි) ප්‍රතිශතයක් ලෙස කලාපයේ අඩුම ආදායම් අනුපාතය මෙරටින් වාර්තා විය. 2019 වසරේ සියයට 12.7 ක් ව පැවති එම අනුපාතය, 2020 වසරේ දී සියයට 9.1 දක්වා අඩු වූ අතර, 2021 වසරේ දී එය සියයට 8.7 දක්වා තවදුරටත් අඩු විය. මෙය නැගී එන වෙෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හි සමාන්‍යය වන සියයට 25 ට වඩා සැළකිය යුතු ලෙස අඩු අගයක් ගනී.
මෙම ලිහිල් බදු ක්‍රමවේදය, ආදායම් රැස් කිරීම සඳහා කොවිඩ්-19 වසංගතයෙන් ඇති වූ බලපෑම සමඟින් වසංගත සහන ක්‍රියාමාර්ග හේතුවෙන් 2019 වසරේ දී ද.දේ.නි යෙන් සියයට 9.6 ක් ව පැවති අයවැය හිඟය, 2020 වසරේ දී සියයට 11.1 දක්වා ද, 2021 වසරේ දී සියයට 12.2 දක්වා ද සැළකිය යුතු ලෙස පුළුල් විය. එබැවින් 2019 වසරේ දී සියයට 86.9 ක් ව පැවති ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය 2020 වසරේ දී සියයට 100.6 දක්වා ද, 2021 වසරේ දී සියයට 104.6 දක්වා ද වැඩි විය.
මෙම රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවය ආර්ථිකය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. පෙර නොවූ විරූ උද්ධමනකාරී පීඩනය, දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව පවතින විශාල රාජ්‍ය මූල්‍ය සහ ගෙවුම් ශේෂ මූල්‍යයන අවශ්‍යතා, අධික ණය බර සහ තීරණාත්මක ලෙස පහළ මට්ටමක පවතින සංචිත ප්‍රමාණය සහ විනිමය අනුපාතය කෙරෙහි එල්ල වන පීඩනයන් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දැක්ම අවදානම් සහගත මට්ටමක පවතී. විදේශ විනිමය හිඟය සහ එහි ප්‍රතිඵලයක් ලෙස දැනට රටේ පවතින ආර්ථික තත්ත්වය මෙන්ම ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම හේතුවෙන් ව්‍යාපාරික සහ ආයෝජක විශ්වාසය නැති වීම ආර්ථීක වර්ධනයට අහිතකර ලෙස බලපානු ඇත.
ජාත්‍යන්තර වෙෙළඳපොළ ප්‍රවේශය අහිමි වීම සහ වෙනත් විදේශ විනිමය ගලා ඒම් සාපේක්ෂව අඩු වීම හේතුවෙන් රාජ්‍ය අයවැය හිඟය මූල්‍යයනය සම්බන්ධයෙන් සැළකිය යුතු ගැටළු රාශියක් නිර්මාණය වී තිබේ. 2020 සහ 2021 වසරවල දී, විදේශ මූලාශ්‍ර සඳහා ශුද්ධ ණය ආපසු ගෙවීමක් වාර්තා වන බැවින් සමස්ත අයවැය හිඟයම දේශීය මූලාශ්‍රවලින් මූල්‍යයනය කෙරිණ. බැංකු නොවන දේශීය මූලාශ්‍ර හරහා ප්‍රමාණවත් ශුද්ධ මූල්‍යයනයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, අයවැය හිඟය මූල්‍යයනය කරන ලද දේශීය මූලාශ්‍ර අතුරින් බහුතරයක් බැංකු මූලාශ්‍රවලින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්නා ලදී. අඛණ්ඩව ලබා ගන්නා ලද සැළකිය යුතු මහ බැංකු මුදල් මූල්‍යයනය ආර්ථිකයට විශේෂයෙන්ම උද්ධමනයට සහ විනිමය අනුපාතයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන ලදී.
පොළී ගෙවීම්, වැටුප් හා වේතන, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා යනාදී වියදම්වල සැළකිය යුතු කොටසක් ඇතුළුව රාජ්‍ය වියදම් දැරිමට මහා භාණ්ඩාගාරයට වැඩි වශයෙන් මහ බැංකු මුදල් මූල්‍යයනය ලබා ගැනීමට සිදුවන අතිශය තීරණාත්මක මට්ටමට වර්තමානයේ දී පත්ව ඇත. මෙය කිසිසේත්ම තිරසාර තත්ත්වයක් නොවේ. එබැවින් සාර්ව ආර්ථික ස්ථායිතාවය තහවුරු කිරීම පිණිස මෙරට මධ්‍ය කාලීන මෙන්ම දීර්ඝ කාලීන ආර්ථික වර්ධන අභිමතාර්ථ සඳහා සහාය දැක්වීමට 2022 වසරේ දී සහ ඉන් ඔබ්බට ආදායම් වැඩි කර ගැනීමේ මෙන්ම වියදම් තාර්කීකරණය කිරීමේ ක්‍රියාමාර්ග මඟින් ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.
ඉහත පසුබිම යටතේ, පහත සඳහන් බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් මෙන්ම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරේ.
බදු ප්‍රතිසංස්කරණ යෝජනා
1 ආදායම් බද්ද
බදු අනුපාත, බදු සීමා (thresholds) සහ බදු කාණ්ඩ (slabs) සංශෝධනය කිරීම සහ වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් නාමික වශයෙන් ආදායම් බදු මඟින් රැස් කළ ආදායම, 2019 වසරේ දී රු. බිලියන 427.7 සිට 2020 වසරේ දී රු. බිලියන 268.2 දක්වා සියයට 37.3 කින් එනම් රු. බිලියන 159.5 කින් අඩු විය. මෙය ද.දේ.නි යෙහි ප්‍රතිශතයක් ලෙස ආදායම් බදු මඟින් රැස් කළ ආදායම 2019 වසරේදී සියයට 3.0 සිට 2020 වසරේ දී සියයට 1.8 දක්වා අඩු වීමක් සනිටුහන් කරන ලදී. ආදායම් බදු මඟින් රැස් කරන ලද ආදායම 2020 වසරේ දී රු. බිලියන 268.2 සිට 2021 වසරේ දී රු. බිලියන 302.1 දක්වා සියයට 12.6 කින් වැඩි විය. කෙසේ වුවද, 2021 වසරේ දී ද, ද.දේ.නි යෙහි ප්‍රතිශතයක් ලෙස ආදායම් බදු මඟින් රැස් කළ ආදායම සියයට 1.8 ක අඩු අගයක පවතී.
අ) පුද්ගල ආදායම් බද්ද (PIT)
හඳුන්වා දෙන ලද බදු ප්‍රතිසංස්කරණ යටතේ, 2020 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, රු. 500,000 ක පුද්ගලික ආදායම් බදු සහනය සහ රු. 700,000 ක සේවා නියුක්ති සහනය (එනම් රු. මිලියන 1.2 ක සහනයක සිට) රු. මිලියන 3 දක්වා ඉහළ දමන ලදී. උපරිම වශයෙන් රු. මිලියන 1.2 ක මුළු එකතුවක් දක්වා වියදම් සහනයක් හඳුන්වා දෙන ලද අතර, බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේ දි තක්සේරු වර්ෂයක් තුළ දරන ලද වියදම් මෙම සහනය යටතේ අඩු කළ හැකිය. එවැනි වියදම් අතරට, සෞඛ්‍ය වියදම්, දේශීයව දරන ලද අධ්‍යාපන වියදම්, නිවාස ණය සඳහා වන පොලී, අනුමත විශ්‍රාම යෝජනා ක්‍රමයකට දායකත්ව මුදල් ගෙවීම (සේවා යෝජකයා යටතේ හෝ සේවා යෝජකයා වෙනුවෙන් හැර) සහ කොටස් හෝ සුරැකුම් මිලදී ගැනීම (භාණ්ඩාගාර සුරැකුම්, ලැයිස්තුගත කොටස් සහ ලැයිස්තුගත මූල්‍ය සාධනපත්‍ර ඇතුළු) සඳහා දරනු ලබන වියදම් මෙම වියදම්වලට ඇතුළත් වේ. ඊට අමතරව බදු අයකළ හැකි ආදායම මත බදු කාණ්ඩ (tax slabs) රු. 600,000 සිට රු. මිලියන 3 දක්වා ඉහළ දමන ලද අතර, උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය සියයට 24 සිට සියයට 18 දක්වා පහළ දමන ලදී.
ඉහළ බදු නිදහස් කිරීමේ සීමාව සහ වියදම් සහනය මෙන්ම අඩු බදු අනුපාත, 2020 සහ 2021 වසරවල ආදායම් කාර්යසාධනයට බලපා ඇත. එහෙයින්, පුද්ගල ආදායම් බදු අනුපාත ක්‍රමානුකූල ලෙස සංශෝධනය කිරීම මඟින් පුද්ගල ආදායම් බදු ආදායම සැළකිය යුතු ලෙස ඉහළ යනු ඇත. ඉහත කරුණු සැළකිල්ලට ගෙන, පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනු ලැබේ.
i. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, පුද්ගල බදු සහනය රු. මිලියන 3 සිට රු. මිලියන 1.8 දක්වා අඩු කිරීම
ii. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, පහත දැක්වෙන වගුවේ දැක්වෙන ආකාරයට පුද්ගල ආදායම් බදු අනුපාත සංශෝධනය කිරීම:
බදු අය කළ හැකි ආදායම (රු.) අනුපාතය (%)
පළමු මිලියන 1.2 4
ඊළඟ මිලියන 1.2 8
ඊළඟ මිලියන 1.2 12
ඊළඟ මිලියන 1.2 16
ඊළඟ මිලියන 1.2 20
ඊළඟ මිලියන 1.2 24
ඊළඟ මිලියන 1.2 28
ඉතිරිය මත 32
ආ) රඳවා ගැනීමේ බදු (WHT)
2020 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම් මත, ලොතරැයි, ත්‍යාග, ඔට්ටු ඇල්ලීම හෝ සූදු ආදියෙන් ලද දිනුම් මගින් උපයන ලද ලැබීම් හැර ආයෝජන ලැබීම් මත, හවුල් ව්‍යාපාර ආදායම් කොටස මත, සේවා ගාස්තු සහ කොන්ත්‍රාත් ගෙවීම් මත වන රඳවා ගැනීමේ බද්ද ඉවත් කරන ලදී.
2020 අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සේවා නියුක්ති ආදායම සඳහා අත්තිකාරම් පුද්ගල අදායම් බද්ද (APIT) හඳුන්වා දුන් අතර, එය නිර්වාසික පුද්ගලයන්ට හා පුරවැසියන් නොවන පුද්ගලයන්ට සේවා යෝජකයා විසින් අදාළ ගෙවීම් කිරීමේදී අනිවාර්යය අඩු කිරීමක් නමුත්, වාසික පුද්ගලයන්ට සහ පුරවැසියන්හට විකල්පයක් ලෙස ඔවුන්ගේ ඉල්ලීම මත පමණක් අඩු කරනු ලබයි. වාසික පුද්ගලයෙකු වෙත කරනු ලබන ලාභාංශ, පොළී, වට්ටම්, ගාස්තු, ස්වභාවික සම්පත් ගෙවීම්, කුලී, රාජ්‍ය භාග, වාරික හෝ සමාන කාලානුරූප ගෙවීම් මත අත්තිකාරම් ආදායම් බද්ද හඳුන්වා දෙන ලදී. එම බද්ද ඔවුන් සඳහා විකල්පයක් වන අතර, එය ඔවුන්ගේ ඉල්ලීම පරිදි පමණක් අඩු කරනු ලබයි.
ඉහත සඳහන් ප්‍රතිසංස්කරණ සහ සහන සීමාව ඉහළ දැමීම හේතුවෙන්, උපයන විට බදු ගෙවීම/ අත්තිකාරම් පුද්ගල අදායම් බද්ද යටතේ ආදායම් බදු ගෙවීමට ලියාපදිංචි වී සිටින බදු ගෙවන්නන් සංඛ්‍යාව 2019 අවසානය වන විට 1,149,883 සිට 2020 අවසානය වන විට 209,800 දක්වා සියයට 81.8 කින් අඩු විය. පොළී මත රඳවා ගැනීමේ බදු/ අත්තිකාරම් ආදායම් බද්ද සඳහා ලියාපදිංචි වී සිටින නියෝජිතයන් සංඛ්‍යාව 2019 අවසානය වන විට 1,627 සිට 2020 අවසානය වන විට 615 දක්වා අඩු වී ඇත.
ඉහත සඳහන් යෝජනා හේතුවෙන් බදු ආදායමට ඇති වූ බලපෑම, බදු ගෙවීම පැහැර හැරීමට ඇති හැකියාව මෙන්ම බදු පරිපාලන ක්‍රියාවලිය මෙන්ම බදු ගෙවන්නන්ගේ ක්‍රමවේදය සංකීර්ණ වීම පිළිබඳ සළකා බලා, පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනු ලැබේ.
i. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද/ සේවා නියුක්ති ආදායම මත රඳවා ගැනීමේ බද්ද (උපයන විට ගෙවීමේ බද්ද) වර්ෂයකට රු. මිලියන 1.8 ක් වන බදු සහන සීමාව ඉක්මවන සියලුම බදු ගෙවන්නන්ට අනිවාර්යය කිරීම.
ii. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, අත්තිකාරම් ආදායම් බද්ද/රඳවා ගැනීමේ බද්ද සියලුම බදු ගෙවන්නන් සඳහා අනිවාර්යය කිරීම සහ තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා පොළී ද, සියලුම බදු ගෙවන්නන් සඳහා ලාභාංශ ද අවසානාත්මක ගෙවීම් ලෙස සැළකිීම. පහත සඳහන් අනුපාත යටතේ අඩු කිරීම කරනු ඇත.
• පොළී – සියයට 5
• ලාභාංශ – සියයට 14
• කුලී – මසකට රු. 100,000 ඉක්මවන කුලී සඳහා සියයට 10
• වෙනත් සියලුම අවස්ථා සඳහා – සියයට 14
iii. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදු කරන මසකට රු. 100,000 ක් ඉක්මවන සේවා ගෙවීම් මත සියයට 5 ක රඳවා ගැනීමේ බද්දක් පැනවීම.
iv. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාක්මක වන පරිදි, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොළී ආදායම මත රු. මිලියන 1.5 ක සහනයක් හඳුන්වා දීම.
ඇ) සංස්ථාපිත ආදායම් බද්ද (CIT)
2020 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ස්ථාවර සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 28 සිට සියයට 24 දක්වා අඩු කරන ලදී. තොරතුරු තාක්ෂණය හා සඵල සේවා මඟින් ලැබෙන ලැබීම් හා ලාභ, ආදායම් බද්දෙන් නිදහස් කරන ලද අතර ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා සඳහා සියයට 14 ක සහනදායී බදු අනුපාතයක් ද නිෂ්පාදන සඳහා සියයට 18 ක බදු අනුපාතයක් ද ලබා දෙන ලදී.
ඉහත සඳහන් ප්‍රතිසංස්කරණවලින් ආදායම වෙත වූ බලපෑම සළකා බලමින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කෙරේ.
i. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 24 සිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සහ සහනදායී සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 14 සිට සියයට 15 දක්වා ඉහළ නැංවීම. මේ මඟින්, විශාල බහුජාතික සමාගම්වල ගෝලීය ලාභවලට අදාළ වන සහ සියයට 15 ක අවම ගෝලීය සංස්ථාපිත ආදායම් බදු අනුපාතයක් ඇතුළත් වන ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානයේ (OECD) නායකත්වයෙන් ක්‍රියාත්මක වන සමවබෝධිත ක්‍රියාරාමුව (Inclusive Framework) සමඟ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත ආදායම් බදු අනුපාතය අනුකූල වනු ඇත. කෙසේ වුවද, නිෂ්පාදන (සියයට 18) සහ මත්පැන් හා දුම්කොළ සහ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු (සියයට 40) යන බදු අනුපාත එලෙසම පවත්වා ගෙන යනු ලැබේ.
ii. 2023 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි වාසික සමාගමක් විසින් නිර්වාසික තැනැත්තෙකු වෙත ගෙවනු ලබන ලාභාංශ ආදායම් බද්දට යටත් කිරීම.
iii. මීට පෙර සිදු කළ සංශෝධනය මඟින් ලබා දුන් පහත සඳහන් බදු විරාම අහෝසි කිරීම. 2023 මාර්තු 31 වැනි දිනට පෙර ආරම්භ කරන ලද ව්‍යාපෘති හෝ ව්‍යාපාරවලට මෙය අදාළ නොවේ.
ඉදිකිරීම් කර්මාන්තයේදී මීට පෙර භාවිතා කරන ලද ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත වෙනම තෝරාගත් වැඩබිමක ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඉදිකිරීම් ද්‍රව්‍ය විකුණනු ලබන ව්‍යාපාරයක් සඳහා දස වර්ෂයකට බදු නිදහස් කිරීම
• තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) සංකල්පය යටතේ ප්‍රමිතිගත කර ඇති සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියාමනය කරන ඕනෑම ආයතනයක් මඟින් වෘත්තීය අධ්‍යාපනය සාර්ථකව නිම කිරීමෙන් පසු, 2021 අප්‍රේල් 1 දින හෝ එදිනෙන් පසු යම් පුද්ගලයෙකු විසින් ආරම්භ කරන ලද ඕනෑම ව්‍යාපාරයක් පස්-අවුරුදු කාලපරිච්ඡේදයක් සඳහා බදුවලින් නිදහස් කිරීම.
• වාසික තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද බෝට්ටු හෝ නැව් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයකින් එවැනි බෝට්ටු හෝ නැව් සැපයීම මගින් ලැබූ හෝ උපයන ලද ඕනෑම ලැබීම් හෝ ලාභ සඳහා සත්-අවුරුදු කාලපරිච්ඡේදයක් සඳහා බදුවලින් නිදහස් කිරීම.
• 2021 ජනවාරි මස 1 වන දින හෝ එදිනෙන් පසුව ඕනෑම වාසික තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවේ දේශීය ශ්‍රමිකයන් සහ අමුද්‍රව්‍ය භාවිතා කරමින් සන්නිවේදන කුළුණු සහ ඒ හා සම්බන්ධ උපකරණ ඉදිකරන සහ සවිකරන හෝ එවැනි ඉදිකිරීම් සහ සවිකිරීම් සඳහා අවැසි තාක්ෂණ සේවා සපයන ඕනෑම ව්‍යාපාරයක් සඳහා පස්-අවුරුදු කාලපරිච්ඡේදයක් සඳහා බදුවලින් නිදහස් කිරීම.
• කොළඹ සහ හම්බන්තොට වරායන්හි අක්වෙරළ ව්‍යාපාරයන්ට සම්බන්ධ බන්ධිත ගුදම් හෝ ගුදම් කුළියට දීමේ ඕනෑම ව්‍යාපාරයක්, එවැනි ගුදම් සඳහා 2021 අප්‍රේල් මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආයෝජනය කර ඇත්නම් බදු නිදහස් කිරීම.
iv. 2023 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, අලෙවිකරණ හා සන්නිවේදය සම්බන්ධයෙන් වන වියදම් සඳහා ලබා දෙන ලද අතිරේක අඩු කිරීම ඉවත් කිරීම.
v. 2023 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ ″බහු ජාතික සමාගම්″ සඳහා ලබා දෙන ලද නිර්වචනයේ පැහැදිළි භාවය වැඩි දියුණු කිරීම සඳහා සංශෝධනය කිරීම.
vi. ඉහත සඳහන් යෝජනාවල ප්‍රතිඵලයක් ලෙස සිදු කළ යුතු වෙනත් සංශෝධන සිදු කිරීම.
2.2 එකතු කළ අගය මත බද්ද (VAT)
2019 දෙසැම්බර් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කරන ලද අතර, 2020 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමේ සීමාව කාර්තුවකට රු. මිලියන 3 හෝ වසරකට රු. මිලියන 12 සිට කාර්තුවකට රු. මිලියන 75 හෝ වසරකට රු. මිලියන 300 දක්වා ඉහළ දමන ලදී. කොව්ඩ්-19 වසංගත තත්ත්වය සමඟ ඉහත ප්‍රතිසංස්කරණ හේතුවෙන්, එකතු කළ අගය මත බදු අදායම 2019 වසරේදී රු. බිලියන 443.9 සිට 2020 වසරේදී රු. බිලියන 233.8 දක්වා සියයට 47 කින් අඩු වන ලදී.
ඉහත කරුණු සළකා බලා, පහත සඳහන් යෝජනා ඉදිරිපත් කෙරේ.
i. වහාම ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කිරීම.
ii. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමේ සීමාව වසරකට රු. මිලියන 300 සිට වසරකට රු. මිලියන 120 දක්වා අඩු කිරීම.
iii. එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් උපලේඛනය සමාලෝචනය කිරීම සහ ආර්ථික ප්‍රතිලාභය මත පදනම්ව ඵලදායී නොවන නිදහස් කිරීම් ඉවත් කිරීම.
iv. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, පදිංචියට යෝග්‍ය සහාධිපත්‍ය තට්ටු නිවාස (condominium residential apartments) සඳහා ලබා දෙන ලද එකතු කළ අගය මත බදු නිදහස් කිරීම ඉවත් කිරීම.
v. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, මුළු යෙදවුම් වටිනාකමින් සියයට 60 ක් දේශීය සැපයුම්/මූලාශ්‍රවලින් ප්‍රභවය වන්නේ නම්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්, ආගන්තුක නිවාස, අපනශාලා හෝ සමාන සේවා සපයන අනෙකුත් ඒ හා සමාන ව්‍යාපාර විසින් සපයන සේවා මත ලබා දී තිබූ ශුන්‍ය බදු අනුපාතය ඉවත් කිරීම සහ ඒ මත සියයට 12 ක බදු අනුපාතය පැනවීම.
vi. ඉහත සඳහන් යෝජනාවල ප්‍රතිඵලයක් ලෙස සිදු කළ යුතු වෙනත් සංශෝධන සිදු කිරීම.
2.3 විදුලිසංදේශ බද්ද
2019 දෙසැම්බර් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිසංදේශ බදු අනුපාතය සියයට 15 සිට සියයට 11.25 දක්වා අඩු කරන ලද අතර, ඒ හේතුවෙන් බදු ආදායම 2019 වසරේ දී රු. බිලියන 18.3 සිට 2020 වසරේ දී රු. බිලියන 13.1 දක්වා සියයට 28 කින් අඩු විය. එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බදු අනුපාතය සියයට 11.25 සිට සියයට 15 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ.
2.4 ඔට්ටු හා සූදු බද්ද
ඔට්ටු හා සූදු බද්ද සම්බන්ධයෙන් වන බදු අනුපාත 2015 සිට සංශෝධනය කර නොමැත. එබැවින්, 2023 ජනවාරි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔට්ටු හා සූදු බද්ද සම්බන්ධයෙන් පහත සඳහන් සංශෝධන යෝජනා කෙරේ.
i. සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්ද රු. මිලියන 200 සිට රු. මිලියන 500 දක්වා වැඩි කිරීම.
ii. ඔට්ටු ව්‍යාපාර සම්බන්ධයෙන් වාර්ෂික බද්ද,
අ. අනු නියෝජිතයෙකු මඟින් සිදු කරන අවස්ථාවක දී රු. මිලියන 4 සිට රු. මිලියන 5 දක්වා ද,
ආ. සජීවි විකාශන පහසුකම් භාවිතා කරමින් සිදු කරන අවස්ථාවක දී රු. මිලියන 0.6 සිට රු. මිලියන
1 දක්වා ද,
ඇ. සජීවි විකාශන පහසුකම් භාවිතා නොකරමින් සිදු කරන අවස්ථාවක දී රු. 50,000 සිට රු. 75,000
දක්වා ද වැඩිකිරීම
iii. දළ එකතුව මත බදු අනුප්‍රමාණය සියයට 10 සිට සියයට 15 දක්වා වැඩි කිරීම.
ඉහත බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලට අමතරව, තාක්ෂණය මුසු කිරීමෙන් සහ ශක්තිමත් බදු විගණන සමඟ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආදායම් එකතු කරන ආයාතනවල බදු පරිපාලනය ශක්තිමත් කිරීමට පියවර ගනු ලැබේ.
ඉහත බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලින් ආදායමට ඇති වන බලපෑම ඇමුණූම යටතේ දක්වා ඇත.
2.5 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතට සිදු කරන සංශෝධන
2021 අංක 12 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) (සංශෝධන) පනතින් සංශෝධිත 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ, භාණ්ඩාගාර ඇපකර පිළිබඳ සීමාව පවත්නා මූල්‍ය වර්ෂයේ සහ ඊට පෙර වර්ෂ දෙකේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15 ක් ලෙස නියම කර ඇත. මෙම ඇපකරවලින් සියයට 70 ක් පමණ විදේශ මුදල්වලින් නිකුත් කර තිබෙන බැවින්, ශ්‍රී ලංකා රුපියල සැළකිය යුතු ලෙස අව ප්‍රමාණය වීම නිසා රුපියල්වලින් නිර්මිත ඇපකරවල වටිනාකම නියමකර ඇති සියයට 15 සීමාවට වඩා සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ඉහත කරුණු සළකා බලා, පහත සඳහන් සංශෝධන යෝජනා කෙරේ.
i. විනිමය අනුපාතය අසාමාන්‍ය ලෙස අවප්‍රමාණය වීම සහ වෙනත් අනපේක්ෂිත තත්ත්වයන් යටතේ භාණ්ඩාගාර ඇපකර පිළිබඳ සීමාව ඉක්මවා යාමට හැකි වන පරිදි ප්‍රතිපාදන ඇතුළත් කිරීම.
ii. මෙහෙයුම් ඉලක්ක/ඉලක්කයන්ගෙන් සහ රාජ්‍ය මූල්‍ය නියමය/නියමයන්ගෙන් රජයට බැහැර විය හැකි පරිදි නම්‍යතාවයක් ඇති කිරීම සඳහා අනපේක්ෂිත තත්ත්වයන් යටතේ බැහැර යාමේ විධිවිධානයක් (escape clause) ඇතුළත් කිරීම. යම් ඉලක්කයක් උල්ලංඝනය වූ සෑම අවස්ථාවකදීම පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මෙමඟින් ඉවත් කෙරේ.
3. අනුමැතිය
ඒ අනුව,
3.1 ආදායම් බදු සංශෝධන සම්බන්ධයෙන්
(i) ඉහත 2.1 උපඡේදයේ සඳහන් කර ඇති යෝජනා ඇතුළත් කරමින් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට;
(ii) ඉහත (i) හි සඳහන් පනත් කෙටුම්පත නෛතික නිෂ්කාශනය සඳහා ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට; හා
(iii) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට; සහ
3.2 එකතු කළ අගය මත බදු සංශෝධන සම්බන්ධයෙන්
(i) එකතු කළ අගය මත බදු අනුපාතය වැඩි කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට;
(ii) ඉහත 2.2 උපඡේදයේ සඳහන් කර ඇති යෝජනා ඇතුළත් කරමින් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට;
(iii) ඉහත (ii) හි සඳහන් පනත් කෙටුම්පත නෛතික නිෂ්කාශනය සඳහා ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට; හා
(iv) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට; සහ
3.3 විදුලිසංදේශ බද්ද හා සම්බන්ධයෙන්
(i) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත 2.3 උපඡේදයේ සඳහන් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව භාරව සිටින රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කිරීමට;
(ii) ඉහත 2.3 උපඡේදයේ සඳහන් කර ඇති යෝජනාව ඇතුළත් කරමින් විදුලිසංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට;
(iii) ඉහත (ii) හි සඳහන් පනත් කෙටුම්පත නෛතික නිෂ්කාශනය සඳහා ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට; හා
(iv) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට; සහ
3.4 1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනත සම්බන්ධයෙන්
(i) ඉහත 2.4 උපඡේදයේ සඳහන් කර ඇති යෝජනා ඇතුළත් කරමින් ඔට්ටු හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට;
(ii) ඉහත (i) හි සඳහන් පනත් කෙටුම්පත නෛතික නිෂ්කාශනය සඳහා ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට; හා
(iii) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට; සහ
3.5 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත සම්බන්ධයෙන්
(i) ඉහත 2.5 උපඡේදයේ සඳහන් කර ඇති යෝජනා ඇතුළත් කරමින් මූල්‍ය කළමනාකරණ (වගකීම්) (සංශෝධන) පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට;
(ii) ඉහත (i) හි සඳහන් පනත් කෙටුම්පත නෛතික නිෂ්කාශනය සඳහා ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට; හා පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට; සහ
3.6 ඉහත 2 ඡේදයේ සඳහන් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විමසා, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට අදාළ නීති සියල්ලම සම්පාදනය කිරීමට සහ අදාළ නීති සංශෝධනය කරන කෙටුම්පත් කඩිනමින් සකස් කිරීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.