27 April 2024
#සංවර්ධන

මාතලේ දිස්ත්‍රික්කයට රු. ලක්‍ෂ 21,330ක ජල ව්‍යාපෘතියක්  

 

මාතලේ දිස්ත්‍රික්කයේ රුපියල් ලක්‍ෂ 21,330ක වියදමින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ ජලනල ස්ථාපනයෙහි වැඩ ආරම්භ කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණ.

ඒ “පුරනැගුම” ව්‍යාපෘතිය සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඒකාබද්ධව, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මතයි,

මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය පවුල් 10,502ක් සඳහා ප්‍රතිලාභ හිමි වන අතර ජලනල ස්ථාපනය කිරීමේ මුළු දුර කිලෝමීටර් 525ක්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 6610ක වියදමකින් යුතුව ගලේවෙල ප්‍රදේශය සහ තිත්තවැල්ගොල්ල ප්‍රදේශය ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් 3376කට සෙත සැලසෙන දිග කි.මී. 138ක ජලනල පද්ධතිය ආරම්භ කිරීම දඩුයාය පන්සල අසලදී සිදු වූ අතර ලක්ෂ 4150ක වියදමකින් යුතුව සීගිරිය ප්‍රදේශය සහ හබරණ ප්‍රදේශය ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් 1432කට සෙත සැලසෙන දිග කි.මී. 114 ක ජලනල පද්ධතිය ආරම්භ කිරීම කිඹිස්ස ප්‍රදේශයේදී සිදු විය.

ඉනාමළුව ප්‍රදේශය සහ කිතුල්හිටියාව ප්‍රදේශය ආවරණය වන පරිදි රුපියල් ලක්ෂ 4920ක වියදමකින් යුතුව දිග කි.මී. 119ක ජලනල පද්ධතිය ආරම්භ කිරීම වැලිහේන හන්දියේදී සිදු කෙරිණි. මෙහි ප්‍රතිලාභී පවුල් ගණන 2381කි. පවුල් 3313කට ප්‍රතිලාභ හිමි වන දඹුල්ල ග්‍රාමීය ප්‍රදේශය සහ කන්ඩලම ප්‍රදේශය ආවරණය වන පරිදි රුපියල් ලක්ෂ 5650ක වියදමකින් යුතුව දිග කි.මී. 154ක ජලනල පද්ධතිය බුලාගල හන්දියේදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් ආරම්භ කෙරුණි.

මෙම අවස්ථාවන් සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන හා වන ජිවී රාජ්‍ය අමාත්‍ය රන්ජිත් අලුවිහාරේ මහත්වරු ඇතුළු නගරාධිපතිවරු,, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *