2025 වර්ෂයේ මුල් මාස නවය තුළ මෙරටට මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන මෙට්‍රික්ටොන් 42,796.3ක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 25,993.1ක මුදලක් වැය වී ඇති බව ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි. මෙය 2024 වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 1.8ක අඩුවීමකි. හාල්මැස්සන්, කරවල සහ උම්බලකඩ ප්‍රධාන වශයෙන් මෙලෙස ආනයනය කර ඇති අතර, වියළි හාල්මැස්සන් ආනයනය සඳහා වැය වූ මුදල ද 13.5%කින් පහත වැටී තිබේ.
මෙහි ඇති විශේෂිතම කරුණ වන්නේ ටින් මාළු ආනයනය 97.3%ක අතිවිශාල ප්‍රතිශතයකින් පහත වැටී තිබීමයි. 2024 වසරේ මුල් මාස නවයේදී ටින් මාළු සඳහා රුපියල් මිලියන 2,815.6ක් වැය කර තිබුණ ද, 2025 වසරේ එම කාලය තුළ වැය කර ඇත්තේ රුපියල් මිලියන 75.2ක් පමණි. දේශීය ටින් මාළු නිෂ්පාදනය ඉහළ යාම හෝ ආනයන සීමා මීට හේතු විය හැකි බව නිරීක්ෂණය වේ.














