27 April 2024
#දේශීය

දැන් 63 යි .. තව 5කින් විශ්‍රාම ගන්නා බව ඇමැති මංගල

තමාට දැන් වයස අවුරුදු 63ක් බවත් තවත් වසර පහකින් පසු විශ්‍රාම ගන්නා වයස එළඹෙනු ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒ මහතාගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් ‘මංගල සමරවීර‘ කෘතිය එළිදැක්වීම සහ සමරු උත්සවය දේශපාලන පක්ෂ නායකයන්, විද්වතුන්, කලාකරුවන් සහ මාතර දිස්ත්‍රික් ජනතාව ඇතුළු විශාල පිරිසකගේ සභාගීත්වයෙන් පසුගිය 07 වනදා රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී පැවැත්වු අවස්ථාවේදිය.

එහිදී අමාත්‍ය මංගල කියා සිටියේ දේශපාලනයට පැමිණ ජනතාවට සේවය කිරීම සේම නිසි කාලයේ දී විශ්‍රාම ගැනීමට ද ජනතා සේවයකයන් කටයුතු කළ යුතු බවයි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එදා තමන් 1989 දී දේශපාලනයට පිවිසෙන විට ප්‍රධාන සටන්පාඨ වූ අතුරුදන් වූවන්ට යුක්තිය ඉටුවීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නිල නොවන ඝාතන කල්ලි විසුරුවා හැරීම වැනි සටන් පාඨ වසර 30කට පසු අදටත් වලංගුවීම කණගාටුවට කරුණක් බවයි. තම පියා වූ මහානාම සමරවීර මහතා වැඩබලන බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස 1956 දී ගෙනා මරණ දඩුවම අහෝසි කිරීමේ පනත ගැන යළිත් කතා කරන්නට වීම මගින් රට ගමන් කරන්නේ ඉදිරියට ද ආපස්සට ද යන්න සිතා බැලිය යුතු බවයි.

එසේම තම දේශපාලන දිවියේ තෘප්තිය මාතර දිස්ත්‍රික්කයේ දියුණුව කරා රැගෙන යන්නට හැකි වීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා තරුණියන් දස දහස් ගණනකට සුදුසුකම් මත රැකියා ලබා දී ජීවිත සාර්ථක කර දී ඇතැයි ද හෙතෙම පැවැසීය. ඇතැමුන් තමා මීළග පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොකරන බවට බොරු ප්‍රචාර පැතිරුව ද මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් තමා තවත් එක් වරක් පාර්ලිමේන්තුවට තරග කරන බවත් ඉන් පසු විශ්‍රාම ගන්නා බවත් කියා සිටියේ ය. තමාට දැන් වයස අවුරුදු 63ක් බවත් තවත් වසර පහකින් පසු විශ්‍රාම ගන්නා වයස එළඹෙනු ඇති බව පෙන්වා දුන් මංගල සමරවීර මහතා කියා සිටියේ දේශපාලනයට පැමිණ ජනතාවට සේවය කිරීම සේම නිසි කාලයේ දී විශ්‍රාම ගැනීමට ද ජනතා සේවයකයන් කටයුතු කළ යුතු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *