ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සත්කාරකත්වය දරන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් දින තුනක් ඉතිරිව තිබියදී, තරගාවලියට සහභාගී වන කණ්ඩායම් නායකයන්ගේ නිල හමුව (Captain’s Day) හෙට (05) නගර දෙකකදී පැවැත්වීමට අයි.සී.සී. (ICC) ආයතනය කටයුතු යොදා තිබේ. මෙවර තරගාවලියට කණ්ඩායම් 20ක් සහභාගී වන අතර, ඉන් කණ්ඩායම් 8ක නායකයන් කොළඹදී ද, ඉතිරි කණ්ඩායම් 12 නායකයන් මුම්බායිහිදී ද මාධ්‍ය හමුවට එක්වීමට නියමිතය.
කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාගාරයේ (MCA) හෙට දහවල් 12:30ට පැවැත්වෙන හමුවට ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, පකිස්ථානය ඇතුළු රටවල් 8ක නායකයන් සහභාගී වන අතර, එදිනම පස්වරු 3:30ට මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ඇතුළු කණ්ඩායම් 12ක නායකයන් හමුවීමට නියමිතය. මෙවර ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5කදී සහ ශ්‍රී ලංකාවේ ආර්. ප්‍රේමදාස, එස්.එස්.සී (SSC) සහ පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණ 3කදී පැවැත්වේ.














