ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැගීම සඳහා මෙරට සියලු පුරවැසියන් සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත යුතු බවයි. අභියෝග රැසක් මධ්‍යයේ වුවද වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ රට ආර්ථික ස්ථාවරත්වයක් කරා මෙහෙයවීමට සාමුහික ප්‍රයත්නයන් හරහා හැකි වූ බවත්, එම ආර්ථික ප්‍රතිලාභ රටේ සියලු ජාතීන් සහ පළාත් වෙත ගලා යාමට සැලැස්වීම රජයේ මීළඟ ප්‍රධාන අරමුණ බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මෑතකාලීන ස්වභාවික ව්‍යසනයන්ගෙන් ලැබූ වේදනාකාරී අත්දැකීම් හමුවේ වුවද, ශක්තිමත් පදනමක් මත යළි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අතීතයේ මඟහැරුණු ස්වර්ණමය අවස්ථා මෙවර මඟ නොහැර, අභිමානවත් ඉතිහාසය සහ උරුමයන් සුරකිමින් දියුණු සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමට තමන් සතු අචල විශ්වාසය ඔහු මෙහිදී යළිත් තහවුරු කළේය.














