ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය අද (04) රට පුරා අභිමානයෙන් යුතුව සමරනු ලබන්නේ මාතෘ භූමියේ ස්වෛරීභාවය සහ නිදහස වෙනුවෙන් දිවි පිදූ සහ කැපවූ සියලුම ජාතික වීරයන් කෘතඥ පූර්වකව සිහිපත් කරමිනි. නිදහස යනු හුදු උරුමයක් පමණක් නොව, එය අපේ රණවිරුවන් සහ දේශප්‍රේමීන් සිය ධෛර්යය හා පරිත්‍යාගය තුළින් දිනා දුන් අමිල වස්තුවක් බව මෙදින නැවත නැවතත් අවධාරණය කෙරේ. සෑම පුරවැසියෙකුගේම අනන්‍යතාවට ගරු කරන, ස්වාධීනත්වය සහ එකමුතුකම සුරැකෙන සමාජයක් තුළ සැබෑ නිදහස ජීවමාන වන බවත්, එම වටිනාකම් අනාගත පරම්පරාවට දායාද කිරීම වර්තමාන පරපුරේ වගකීමක් බවත් නිදහස් දින පණිවුඩ මගින් පෙන්වා දී තිබේ. අපේ සංස්කෘතික අනන්‍යතාවය සහ ජාතික ගෞරවය ආරක්ෂා කරමින්, වගකීම් සහගත ලෙස ඉදිරියට යාම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් අද දින නව අධිෂ්ඨානයකින් යුතුව පෙළගැසී සිටිති.














