27 July 2024
#දේශීය

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 800 කට පශ්චාත් සීමාවාසික පත්වීම්

සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන්වරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (26) දින තීරණය කරන ලදි.

මෙම වෛද්‍ය නිලධාරීන් විශාල පිරිසක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලට පැමිණ තමන් බදවා ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කළ අවස්ථාවේ දී එම පිරිසෙන් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

දැනට සීමාවාසික වෛද්‍යවරුන් ලෙස බදවා ගැනිම් නතර කර ඇති බැවින් මෙම වෛද්‍යවරුන්ට තම නියමිත පුහුණු කාලය අවසන් වුවද තවදුරටත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරිමට සිදුව ඇතිබවත් එම ගැටලුවට මුහුණපෑමට සිදුව ඇත්තේ පසුගිය වසරේ මැද භාගයේ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට පමණක් බවත් තමන් තවදුරටත් සිමාවාසික වෛද්‍යවරුන් ලෙස සැළකීම අසාධාරණ බවත්, පශ්චාත් සීමාවාසික පත්වීම් ලිපි මෙතෙක් නොලැබීම පිළිබදවත්, පශ්චාත් සීමාවාසික වැටුප් හෝ අතිකාල දීමනා නොලැබිම පිළිබදවත් යන කරුණු ඇතුලු තවත් ගැටලු කිහිපයක් ඔවුන් පෙන්වා දුන්හ.

එම ඉල්ලීම් පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම ගැටලුව තුල මෙම වෛද්‍යවරුන් අපහසුතාවයට පත්වීම අසාධාරණ බව පැවසයි.
කඩිනමින් එම වෛද්‍යවරුන්ට පශ්චාත් සීමාවාසික පත්වීම් ලිපි ලබාදෙන ලෙසත්, පශ්චාත් සීමාවාසික වැටුප් දීමනා සහ අතිකාල දීමනා ලබාදෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දෙන ලදි. අතිකාල දිමනා සදහා ඇති පැය 04 ක සීමාව අවශ්‍යතාවය මත මෙම වෛද්‍යවරුන් සහ ඔවුන් සමග පොදු කාලසටහන් වලට යොමු වන වෛද්‍යවරුන් සදහා බලනොපවත්වන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *