මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ, ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් සිය වැසියන් සඳහා පොදු ප්‍රවාහන සේවා නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. මෙල්බර්න් නගරය අයත් වික්ටෝරියා ප්‍රාන්තය අප්‍රේල් මාසය පුරා දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් රථ සේවා නොමිලේ ලබා දෙන බව නිවේදනය කර ඇති අතර, ටැස්මේනියා ප්‍රාන්තය අද සිට ජුනි මස අවසානය දක්වා එම පහසුකම ලබා දීමට පියවර ගෙන ඇත. මින් අපේක්ෂා කරන්නේ අධික ඉන්ධන මිල හමුවේ පෞද්ගලික වාහන භාවිතය අවම කර පොදු ප්‍රවාහනය දිරිමත් කිරීමයි.
ඇමරිකාව සහ ඉශ්‍රායලය, ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන යුද ගැටුම් සහ ලෝකයේ තෙල් සහ ස්වභාවික වායුවලින් 20% ක් පමණ ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම මෙම ඉන්ධන අර්බුදයට සෘජුවම බලපා ඇත. මෙම තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියාවේ සමහර ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන අතර, ජනතාව කලබල වී ඉන්ධන රැස් කිරීමට පෙළඹීම වැළැක්වීමට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පියවර ගනිමින් සිටියි. කෙසේ වෙතත් සිඩ්නි නගරය අයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවමත් මෙලෙස නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට තීරණය කර නොමැති අතර, ඔවුන් පවසා ඇත්තේ පොදු ප්‍රවාහනය සඳහා ඇති වන අතිරික්ත ඉල්ලුම කළමනාකරණය කිරීමට ප්‍රතිපාදන වෙන් කර තබා ගන්නා බවයි.














