ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද, දෙරට අතර සාම සාකච්ඡා ඉතා යහපත් මට්ටමින් සහ ප්‍රගතිශීලීව සිදුවෙමින් පවතින බව ධවල මන්දිරය ඊයේ (30) ප්‍රකාශ කළේය. ඉරාන රජය ප්‍රසිද්ධියේ දැඩි ස්ථාවරයක පසුවන බව පෙන්වුවද, පෞද්ගලික සාකච්ඡාවලදී ඔවුන් ඇමෙරිකානු නිලධාරීන් සමඟ සුභවාදී එකඟතාවන්ට පැමිණෙමින් සිටින බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් (Karoline Leavitt) අවධාරණය කළාය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද මීට පෙර ප්‍රකාශ කර සිටියේ සාමය සම්බන්ධයෙන් ඉරානයෙන් ඉතා යහපත් පෞද්ගලික පණිවිඩ ලැබී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම සාකච්ඡා සිදුවන අතරතුරදීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ ඛාර්ග් දූපතේ (Kharg Island) පිහිටි තෙල් අපනයන මධ්‍යස්ථාන සහ අනෙකුත් බලශක්ති යටිතල පහසුකම් විනාශ කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. යුද්ධය සඳහා වැයවන පිරිවැය පියවා ගැනීමට අරාබි රටවල සහය ලබා ගැනීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවත්, ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී ඔහු විසින්ම හෙළි කරනු ඇති බවත් ලෙවිට් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.













