මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ වුවද මෙරට පාරිභෝගිකයන්ට කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීම සහතික කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම විශේෂ පියවරක් ගෙන තිබේ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ මෙරට ඇණවුම් අනුව ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන මෙම විශාල ගෑස් නෞකා මාලදිවයින වෙත ගෙන්වා එහි රඳවා තබා ගන්නා බවයි. එලෙස මාලදිවයිනේ රඳවා ගන්නා තොගවලින් කුඩා නෞකා මඟින් දින දෙකෙන් දෙකට මෙරටට ගෑස් ප්‍රවාහනය කිරීමට විධිමත් පද්ධතියක් සකස් කර ඇත.
කෙරවලපිටිය පර්යන්තයේ පවතින සීමිත ගබඩා ධාරිතාවය සහ විශාල නෞකා සෘජුවම මෙරටට ගෙන්වීමේදී පවතින ප්‍රායෝගික දුෂ්කරතා මඟහරවා ගැනීමට මෙම ක්‍රමවේදය ඉතා වැදගත් වී තිබේ. එසේම යුද කලාපය මඟහරිමින් ඇමරිකාවේ සිට අප්‍රිකාව හරහා මෙම නෞකා ගමන් ගන්නා බැවින් මැදපෙරදිග අර්බුදය නිසා මෙරට ගෑස් සැපයුමට කිසිදු බාධාවක් සිදු නොවන බව ද සමාගම සහතික කර සිටී.














