2026 ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගල (අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ) සංශෝධිත පනත මගින් ස්ථාපිත කර ඇති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන්ට බාධා එල්ල විය හැකි බවට ඉන්දීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය කනස්සල්ල පළ කරති. මෙම නව සංශෝධනවල ඇතුළත් ඇතැම් නෛතික භාෂාවන් සහ කොන්දේසි හේතුවෙන්, නීතිමය ගැටලුවලට බියෙන් බොහෝ වෛද්‍යවරුන් ලිංගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Gender-affirmative care) සේවාවන් සැපයීමෙන් ඉවත් වීමට ඉඩ ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාව ස්වයංව තීරණය කිරීමට තිබූ අයිතිය ඉවත් කිරීම සහ ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයෙකු යන්නට ලබා දී ඇති නිර්වචනය පටු කිරීම මෙහිදී දැඩි විවේචනයට ලක්ව ඇත. එමෙන්ම කිසියම් පුද්ගලයෙකුට ට්‍රාන්ස්ජෙන්ඩර් අනන්‍යතාවක් ප්‍රදර්ශනය කිරීමට “බලකිරීම” දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස මෙම පනතට ඇතුළත් කර තිබීම වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ. මෙමගින් වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් පවා වැරදි ලෙස අර්ථකථනය වීමේ අවදානමක් පවතින බව ඔවුහු පවසති.
මෙම නීතිමය බාධාවන් හේතුවෙන් විධිමත් වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකි වන පුද්ගලයින්, අනාරක්ෂිත සහ ප්‍රමිතියෙන් තොර සැත්කම් හෝ ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වීමේ විශාල අවදානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයින් වැඩිදුරටත් අනතුරු අඟවයි. මේ සම්බන්ධයෙන් නවදිල්ලියේ ජන්තර් මන්තර් (Jantar Mantar) ප්‍රදේශයේදී ද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබූ අතර, පනතේ ඇති ගැටලුකාරී තැන් යළි සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටී.














